Monday, January 26, 2009

ඔන්න පැංචිට තවත් දවසක්....!

පැංචි කන්තොරු යන්නෙත් කන්කන්තොරු ඇරිලා ගෙදර එන්නෙත් පොදු ප්‍රවාහන සේවයෙන්නෙ.
අනික් බොහෝමයක් සේවක නෝනා වරුන්ටයි මහත්තුරුන්ටයි වගේ අපේ පැංචිත් හැමවෙලාවෙම ඉන්නේ කම්මුලට අත තියාගත්ත ගමන්.

පවුලක් පන්සලක් නොවී ඉන්න නිසාද කොහෙද පැංචිට තනි කකුලෙන් අඩව් අල්ලන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බස් ගාස්තු වැඩි කරනවා කිව්වමයි ගෑසුත් ගෑස් පෙන්නනවා කිව්වමයි තනිකඩ පැංචිටත් හීල්ලෙනවා. එක රොකට් එකක්නම් මදෑ එක පිට එක රොකට් ගොඩක් යනකොට ඉතින් මොකද කරන්නේ?

ඕවා මේවා කල්පනා කර කර පැංචි halt එකට ආවා. පැත්තකට ඇලවුන බස් එකක් සේන්දු වෙනවා පේනවා. පැංචි ඇරෙන්න නැවතුමේ හිටිය හැමෝම අන්තිම බස් එක වගේ නඟින්න පොර කෑවා.

"ෆුට් බෝඩ් එල්ලෙන්න එපා" රියදුරු මහත්තයා කෑගහන්න ගත්තා.

"අපිටයි දඩ කන්න වෙන්නේ,බහින්න බහින්න. තව බස් එනවනේ" කොන්දොස්තර මල්ලී ෆුට් බෝඩ් එකේ එල්ලිගෙනම කෑ මොර දෙන්න ගත්තා.

ඔය සමහර star තරඟ වල වගේ බලාපොරොත්තු සුනේ සන් කරගත්ත පිරිස තැන් තැන් බලලා ආයමත් හිට ගත්තා.තව සාඩින් දෙක තුනක්ම නැවතුම් පොළ ළඟ නතර කරලා එයහන් මෙහෙන් පටවගෙන යන්න ගියා.

බස් එක අද්දනකොටම කලබලෙන්ම ගොඩවුන නෝනා කෙනෙක්ගේ සෙරෙප්පුවක් ගැලවිලා විසි වුනා.කෑගහලා සද්දෙ දාලා බස් එකත් නවත්තලා සෙරෙප්පුවත් අහුලගෙන ඔන්න ඒ බස් එකත් යන්න ගියා.

ඈනුමක් ඇරලා පැංචි ඔරලෝසුව දිහා බලනකොට තමයි දෙයියෝ සිහි වුනේ.වටින් ගොඩින් කලුවරත් වැටී ගෙන එනවා. ඊළඟ බස් එකේ නම් එල්ලිලා හරි යනවා කියලා මැරතන් එකකට ලෑස්ති වෙන්න වගේ පැංචි සෙනඟ පීරගෙන ඉස්සරහට ගියා.

තවත් සාඩින් ටින් එකක් ආවා.

පැංචි මේ සැරේ නම් අත ඇරියේ නෑ. කොහොම හරි දඟ දාලා බස් එක ඇතුලටම රිංග ගත්තා. පුහ්! මේක ඇතුල පාන් පෝරණුවක් වගේ නෙ? පුරුදු විදිහටම බෑග් එකත් තුරුලු කරගෙන තනි කකුලෙන්ම ගමන පටන් ගත්තා.

බස් එක ඇතුලෙත් හැල හොල්මනක් නෑ. එක්කෙනෙක් හැරුනොත් තවත් එක්කෙනෙක් ගෙ කකුල පෑගෙන නිසා හැමෝම ගල් වෙලා. ඊළඟ halt එකෙන් නවත්තපු බස් එකෙන් තොගයක් සෙනඟ බැස්සා. කොහේදෝ ඉඳලා හමාගෙන ආපු හුළඟකින් පැංචිට ඉබේම සුසුමක් පිටවුනා.

ඇඟ ටිකක් cool වී ගෙන යනකොටම ඇහුන මහා ගාලගොට්ටියකින් ආයෙත් පැංචිගේ ඇඟ රත් වෙන්න ගත්තා. ආරක්ෂාව පිළිබඳ sure එකක් නැති මේ කාලේ පණ කෙන්ද ගැන තියෙන්නෙ පුදුම ආසාවක්නෙ?

එහෙන් මෙහෙන් කරලා ජනේලෙකින් බෙල්ල දාලා බලපු පැංචිට පෙනුනේ වැළහින්නක් වගේ වැළපෙන මැදි වියේ නෝනා කෙනෙක් වට කරගෙන පොදි කන මිනිස්සු ගොඩකි.

" පොකට් ගහලා,පොකට් ගහලා"බස් එකේ අහු මුලු වලින් ඇහෙන්න පටන් ගත්තා. කොන්දොස්තර මල්ලීත් මිනිස්සු ගොඩේ.

"තම තමන්ගේ බෑග් පරිස්සම් කරගන්න"රියදුරු තැනැත් අනතුරු ඇඟවීමක් කළා.

බස් එකේ හිටිය කාගෙ කාගෙත් ඇහැ තමන්ගේ බෑග් වලට හැරුණේ ඉබේටම වගේ.කඳුළු වගුරන නෝනව තනි කරලා එකා දෙන්නා තමන්ගේ වැඩක් බලාගෙන යන්න ගියා.

බහින අය බැහැලා නඟින අය නැඟලා බස් එක ආයෙත් ඇද්දුවා. බෑග් එකත් අතකින් බදාගෙන අනිත් අතින් පොල්ලත් අල්ල ගත්ත පැංචිගේ හිතත් ටිකක් ගැස්සිලයි එදානම් තිබුනේ.

Saturday, January 24, 2009

පැංචිට තවත් දවසක්.........!

වැඩට යන එන එක මතක් වෙනකොට හීන් දාඩිය දාන එක දැන් දැන් ලෙඩක් නෙමෙයි normal දෙයක් කියලා පැංචිට තේරිලා දැන් ගොඩක් කල් වෙනවා. කන්තෝරු ගිහින් වැඩ කරන එකයැ මහ වැඩේ? මේ බස් වල යන එන එක නේ...

පුරුදු විදිහටම සැන් පවුඩර් දමාගත්තු පැංචි gel ටිකක් යහමින් ගාගෙන අලුත් පන්නේ මල්ලකුත් කරට දමාගෙන බෝංචි ඇට හිටවන අඩි සපත්තු දෙකකුත් දමාගෙන උජාරුවෙන් අඩියට දෙකට ඔන්න halt එකට දිව්වා. චිරි චිරි වැස්සත් තාම ඉවරයක් නෑ.

පායන දවසට යස අගේට තියන "කර්පට්" පාර වැස්සම අපායක් වෙන්නේ ඇයි කියලා ඒ අස්සේ පැංචිට හිතුනා. ඉස්සරහා වීදුරුවෙන් බැලුවම පිටිපස්ස වීදුරුවෙන් එළිය පේන බස් එකක් ආවා.

හරි පුදුමයි! උතුරා යන සතුටකින් බස් එකට ගොඩ වෙලා යස සීට් එකක් බලලා පැංචි හරි බරි ගැහුනා. දැන්නම් නින්ද ගියත් සැපයි. වැනෙන බස් එකේ තාලෙටම සිංදුවකුත් මුමුනමින් පැංචිත් ‍‍ජොලි පිට යනවා. යන ගමන් ජනේලෙන් බෙල්ල දාලා මැගී අක්කගේ කොළ කැඳ කෝප්ප කඩේ දිහත් හැරිලා බැලුවා.

වෙනදට හැටට හැටේ යන බස් එක අද ඉබි ගමනින් වගේ.

ඉල්ලන්නත් කලින් කොන්දොස්තර මල්ලිට සල්ලි දීලා පැංචි ආයෙත් සිංදුවක් මුමුනන්න ගත්තා.අප්පද බොල! මැගී අක්කා තව කොළ කැඳ කෝප්ප කඩයක් දාලා වගේ. පුහ්! ඒකත් නැගලා යන බිස්නස් එක තමයි.

පැංචිටත් ඔපදූප නැතුව බෑනේ.

ආයෙමත් ජනේලෙන් බෙල්ල දැම්මෙ මැගී අක්කනම් යකඩ ගෑනියෙක් කියලා හිත හිතමයි. එතකොටයි පැංචිට තේරුනේ බස් එක නැවතිලා තියන බව. එහෙන් මෙහෙන් ඇහෙන හෝන් සද්දෙත් එන්න එන්නම වැඩි වෙනවා. බස් එකේ අයත් කුනු කුනු ගාන්න පටන් අරන්.

රියදුරු මහත්තයත් ඔලුව බේරගන්නද කොහෙද ඇහෙන නෑහෙන ගානට වගේ කිව්වා පාර වහල වගේ කියලා. තවත් මහත්තයෙක් ඒත් එක්කම වගේ කිව්වා ඔන්න මහ සභාවක් රැස් වෙන කතාවක්. ඉහලට ඇද්ද හුස්ම පහලට දාගන්න බැරුව හිටිය පැංචි ඔරලෝසුව දිහා බැලුවා.

අපේ ගොඩක් මහත්තුරුන්ට වගේ සීට් එකට තියන කෑදර කමට පැංචිට නැගිටලා යන්න හිතුනෙත් නෑ. බස් එකේ එකා දෙන්නා බැහැලා ගිය නිසා අදි මදි කර කරම නැගිට්ට පැංචි චිරි චිරි වැස්සේ පයින්ම ඉස්සරහට ඇදුනා.

වතුරත් දෙබෑ කරගෙන, නලා පිඹගෙන එක පෙළට කඩන් බිඳන් යන කළු රථ පෙළ දැක්කම පැංචිට මතක් වුනේ නාලාගිරි ඇතා ගේ ගමන.චිරිස් ගාලා වැදුන මඩ වතුර පාරකින් බස් නැවතුම් ප‍ලේ අයගෙ ඇඳුම් බතික් වුනා.

"ඔය යන විදිහට තමයි අපටත් පිඹන් යන්නේ" , කොහෙන්දෝ කියනවා ඇහුනා.

කකුල් කෙඩෙත්තුව බලන්නෙ නැතුව පැංචි පයින්ම කන්තෝරුවට ඇදුනේ ඇඟටත් හොඳයිනේ කියලා.ඒත් කන්තොරුවට අඩිය තියන්නත් කලින් සෙරෙප්පු පටිය කැඩිලා විසි වෙනකොට නම් පැංචිට කේන්ති ගියා.ඔන්න ඔය වෙලාවෙ තමයි අපේ පැංචිට හිතුනේ ඊළඟ පාර ඡන්දෙටනම් ගමේ යන්නෙ නෑ කියලා.

Sunday, January 18, 2009

තවත් දවසක්......!

පැංචි ජනේලෙන් පිටත බැලුවෙ ඇ‍ඟ හිරි කඩමිනි.අම්මෝ දවල් වෙලා තියන තරම්.ඇදෙන් බැස්ස බවක්වත් ඇයට මතක් වුනේ නැත.මෙන්න වැඩට යන්න ලෑස්තිත් වෙලා.....8ට කලින් නොගියොත් දෙයියන්ගෙම පිහිට තමයි.
කඩිමුඩියෙම බෝඩිමෙන් එළියට බැස්සේ කට කපලා පුරවන් යන බස් එකකට අත දාන්න බලාගෙන. මොන අතද? නහයවත් දාගන්න පුළුවන් වුනොත් ඇති.යන්තම් සන්තම් සාඩින් ටින් එකට ගොඩවුණ පැංචි එහාටත් ඇඹරුනා මෙහාටත් ඇඹරුනා.
අගේට gelටික ගාලා පීරපු කොන්ඩේ බේර ගත්ත පැංචි‍ දෙකට තුනටම නැමිලා තනි කකුලෙන්ම ගමන පටන් ගත්තා.ඔන්න ඒ පාර කලිසම් කමිස ඇඳ ගත්ත ජේත්තු කාරයෙක් පැංචි‍ ට බැලුම් හෙලන්න පටන් ගත්තා. ඒ විතරක්න‍ම් මදෑ ඔන්න ඒ පාර ඇගෙත් තදවෙනවා. මේන් බොලේ දැන් ජේත්තු කාරයා පැංචි‍ගේ ඇඟටත් jack එක ගහනවා.
අලි මදිවට හරක් කිව්වලු. නිකන් හරක් නෙමයි ගොන් හරක්!
පැංචි‍ගේ ගිනි දැල් පිටවුනු බැල්මෙන් දැවිලා ගිය ජේත්තු කාරයා බස් එකේ පිටි පස්සටම ලිස්සලා ගියේ හරියට ගල් ආඳෙක් වගේ.
සුසුමක් හෙලු පැංචි අමාරුවෙන් අනිත් කකුලට බරවුනා. ඒ පාර කොන්දොස්තර මල්ලි සල්ලි ඉල්ලනවා. පැංචි අල්ලන් හිටපු පොල්ලත් අත ඇරලා බෑග් එකට අත දාලා සල්ලි කොලයක් මල්ලිගෙ අතේ තිබ්බා.
එක පාරටම ගහපු break පාරකින් පැංචි පියාඹන්න පටන් ගත්තා. යන්තම් දුන්න ගහගත්ත පැංචිගේ දත් කුට්ටම බේරුනේ අනූනමයෙන්. කව්ද දන්නේ බස් වල circus දාන්න ලැබෙයි කියලා.වෙලාවට bellbottom එකක් ඇඳලා හිටියේ.
බහින තැනත් ළඟයි. පැංචි නැවතත් ඓහෙට මෙහෙට ඇඹරුනා. පුහ්....! බහින්න වෙන්නේ ජනේලෙන් තමයි. Footboard එකේ එල්ලිලා ගිය කොන්දොස්තර මල්ලිත් ජනේලෙනකින් රිංගලා ඇතුලට ආවා.
කව්ද ඇදපු bell එකකට බස් එක ජරබරාස් ගාලා නැවැත්තුවා. එහෙන් මෙහෙන් රිංගලා අතයි කකුලයි එලියට දාගත්ත පැංචි වෙර වීරිය දාලා ශරීර කූඩුවත් එළියට ඇදලා ගත්තා. අනේ අගේට පීරපු කොන්ඩෙ හරියට පිස්සිගෙ පලා මල්ල වගේ.
යන්තම් ඇඳුමත් හරිබරි ගහ ගෙන කන්තෝරුවට ඇදුන පැංචිට වැඩ කරන ගමන් හිතුනෙ circus ඉගෙන ගත්තොත් නරකද කියලයි.