බෝඩිම් වලටයි මහ මගටයි දියවෙලාම පැංචිගේ අස්ති පංජරයත් පේන නොපෙනෙන තරම්.
අපේ ගොඩක් අයට වගේ පැංචිටත් එකම තැන රස්සාව කරලා එපා වෙලා.
ඇඳුම් මාරු කරනවා වගේ රස්සාවලුයි බෝඩිනුයි මාරු කරන එක ලේසි නෑනෙ.
බෝඩිම් කියනකොටත් පැංචිගේ ඇඟ කීරි ගැහිලා යනවා.
බෝඩිම් වර්ග නම් ඉතින් කොළොම් පුරේ වැහි වැහැලනේ. කාඩ්බෝඩ් බෝඩිම්, ලෑලි බෝඩිම්, වතුර නැති
බෝඩිම්, මීයො දුවන බෝඩිම් එකී මෙකී නොකී බෝඩිම් වර්ග පිරිලා.ඒකත් නෙමෙයි නරක කියමුකො,
ඒවා run කරන ඇන්ටිලාගේ තරමනේ බලන්න ඕනි.අම්මෝ! එනකොටනම් ඉර දීලා හඳ දීලා ටොපි දීලා තමයි
ඇතුලට ගන්නෙපස්සෙ බලන්න ඕනි රැස්!ෆීස් ගන්න ඇන්ටි වෙලාවට සෙට් වෙනවා කාමරේ ගාවට" අනේ
මේ ළමයා ඇදිලා ගිහිල්ලනේ, විටමින් පෙත්තක්වත් බිව්වනම්" බටර් ටිකක් යහමින් ගාලා මොණරු මිට
මොළවගෙන යන ඇන්ටි ආය ඊළඟ මාසෙ වෙනකම් ඉන්නෙ බට කොළ ආච්චිගේ වෙස් අරං තමයි.
රෑ දහයෙන් පස්සෙ ලයිට් දැම්මොත්, සතියට වැඩිය නෙමෙයි දෙපාරක් නෑවොත්, බෙඩ් ෂීට් එකක් එහෙම පුසුඹට වැලේ තියනවා දැක්කොත් ඉතින් පල නොකිය පලා තමයි බෙදන්නේ.
ඒකට මොකද පැංචි ගමේ ඉඳල ආවම කට කනටම අරගෙන ඇන්ටි එනවා පෙරමඟට පිලිගන්න.
බෝඩිම් කාමරේ ලෑලි රාක්කෙ තියලා තියන සීනි බෝතලෙයි පිටි බෝතලෙයි බලාගෙන ඉද්දි අඩු වෙනකොටනම් පැංචිගේ කට නලියන්න ගත්තා.
ඒකේ ප්රථිඵලයක් විදිහට තමයි පැංචිට පොලිස් බැරැක්ක පැත්තෙ තිබ්බ හුන්ඩු බෝඩිමෙන් බම්බලපිටියට ට්රාන්සර් වෙන්න වුනේ.
බම්බලපිටියත් ඉතින් ඊට දෙවනි නෑ.සැපකට කියලා තිබ්බෙ පැය විසි හතරෙම මුහුදු හුළං නොමිලේ ලැබුණ එක තමයි.
අවුරුදු හතරක් විතර ඔය විදිහට උතුරු කොළඹ, දකුණු කොළඹ, බටහිර, නැගෙනහිර කියන සතර දිසාවම යහමින් වැඳ පුදා ගත්ත පැංචි ගම රට බලා එන්න තීරණය කළේ රුපියල් දහයක් අතේ තියාගෙන ගමට වෙලා පොලුයි බතුයි කෑවත් සැපයි කියල හිතලා.