Friday, July 17, 2009

මෙන්න පැංචි ආ......වා.....

හා.............උදේම නැගිටින එක නම් දැං පැංචිට මරන්නා වගේ. එකමත් එක කාලෙක නම් පැංචි උදෑසනින් අවදිවෙලා කන්තෝරු ගියාලු. ඒත් දැං....කොම්පැණිය වැහුවත් හරි ෆා ද බ්ලොගී නංගියි එයාගේ (හික් හික්) Sithangi ලියන සහෝදරයයි නන්නත්තාර වුණා. ඒකනේ මාස ගානක් යනකන් කාගෙන්වත් බ්ලොග් වැටුණෙ නැත්තේ. දැං ඒ තත්වය තරමක් දුරට මඟ හැරිලා තියෙන්නෙ. ඔය ගන්ධබ්බ වකවානුවේ පැංචිටත් හුටපට ගොඩාක් වුණා. හිටින්න පොඩ්ඩක් හිටින්න......තාම පැංචි නැගිට්ටා විතරයි. සුපුරුදු මෝල්ටඩ් පානය අරගෙන වාඩි වෙනකන්.

ඕං හරි. ඉතින් ඉතින් මාස ගානක කතන්තර තියනවා කියන්න. පැංචිව ගොඩ දෙනෙක්ට අමතක වෙන්නත් ගිහිල්ලා නේද?ඒකට කමක් නෑ. පැංචිගේ හිතේ කහටක් නෑ. තිබ්බ ටිකත් මේ දැං තේ කෝප්පෙට දිය කලා.
ඉස්ඉස්සෙල්ලාම කියන්න ඕනි පැංචි දැං මොඩ් වෙලා ඉන්නෙ. කැරලි ගැහිලා තිබ්බ උපන් කොණ්ඩෙ පැය හයක් විතර පොර බදලා කෙලිං කරගත්තා. උදව්වට දෙන්නෙක්ම හිටියා. එක්කෙනෙක් දකුණෙන් ඇද්දා. අනිකා වමෙන් ඇද්දා. පැංචිට තරු එක දෙක පේන්න ගත්තා. තරු වගේද මොඩ් වුණාම කියලා හිත දැඩි කරගත්තා. ඒත් කිව්වම මොකද හීන් දාඩියකුත් එක්ක ඇස් වලින් කඳුලුත් පැන්නා. මූණ ජම්බෝලේ වගේ විච්ච නිසා එයාලට දුක හිතිලා ෆ්‍රී ඔ‍ෆ් චාජ් නෙස්ටමෝල්ට් එකක් දුන්නා ප්‍රබොධමත් වෙන්න. භාගෙට පණ ගිහින් කැරකෙන පුටුවෙන් නැගිටින කොට එක්කෙනෙක් කිව්වා ගිහිං පැනඩෝල් පෙති දෙකක් ගන්න කියලා. කට්ටක් කෑවට මොකද කණ්ණාඩියෙන් මූණ බලන කොට තමයි පැංචිගේ දෙහි ලෙල්ලක් වෙලා තිබ්බ මූණට පැඟිරි ටිකක් වැටුණෙ. හප්පා....ඔයින් ගියා මදෑ. මොඩ් වුණ එකත් මෝඩ නොවී විච්ච එක ගැන හීන් සතුටක් පැංචිට දැනුණා.

කොණඩෙත් කෙලින් කරගෙන පැංචි අන්තිම කාලේ ‍කන්තෝරු ගියේ හරියට බෑග් එකේ මොණරු ඉන්නවා වගේ තමයි. වෙන කොම්පැණි වල අය නෝපේ(no pay) නිවාඩු යනකොට පැංචිලාගේ කොම්පැණියේ අය නෝපේ වැඩ කලානේ. ඉතින් ඔය කාලේ පැංචියි, ෆා ද බ්ලොගී නංගියි සෙට් වුණා සීයෙ කෑලි කඩේකට. ඒකත් අමුතු පහේ සෙල්ලමක් වුණා. නා නා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් වලින් ඒ කඩේ පිරිලා තිබුණා. උඩ බැලුවත් රෙදි බිම බැලුවත් රෙදි. රෙදි ගොඩකට පැනලා හිතේ හැටියටතෝර ගන්න තමයි තයෙන්නෙ.

දවසක් පැංචිට බ්ලොගී නංගිව අමතක වුණා.රෙදි තෝරගෙන කවුන්ටරේ ලඟට එනකොට තමයි මතක් වුණේ. පැංචි ටිකක් ගැස්සිලා සෙනඟ කන්දරාවේ එහේ මෙහේ බැලුවට දර්ශන පථයේ කොහේවත් බ්ලොගී නංගි හිටියේ නෑ. ටක් ටික් ගාලා ෆෝන් එක අරන් කැරකුවා අංකේ. මෙන්න බොලේ ඒක රිංග් වෙනවා රෙදි ගොඩක් අස්සෙන්. අනේ අප්පේ....පැංචිගේ පපුව හෝස් ගාලා දාලා ගියා. බ්ලොගී නංගි රෙදි කන්දකට යට වෙලා. දනි පනි ගාලා ඒකෙන් ඇදලා ගන්නකොට තමයි දැක්කෙ. නරකම නෑ වැඩේ! තෝර ගත්ත ඇඳුම් අතේ පයේ බෙල්ලෙ ඔතාගෙන ඉඳලා සද්දන්ත ඇන්ටි කෙනෙක් රෙදි ගොඩක් කියලා ඇදල අරන් විසික් කරලා. කෙලින් ක‍ටින් වෙලා පැංචි සල්ලි ගෙවලා බ්ලොගී නංගිවත් ඇදගෙන එතනින් එළියට පැන ගත්තෙ දෙන්නවම ඔතලා මලුවලට දාන්න කලින්.
අනේ මේ වගක් බ්ලොගී නංගිගෙන් අහන්න ඔනි නෑ. ඇහුවත් ලැජ්ජාවට කියන එකකුත් නෑ. ඔන්න ඔය වගේ තව අලකලංචි එමටයි. එහෙනම් පැංචි ආයෙත් එන්නම් රස කතා මල්ලක් අරගෙන. එතකන් බා............යි.

13 comments:

  1. එල ඒල, මම හිතුවෙ පැංචි blog ලිවිල්ල අත ඈරලා දාලද කියලා. අහම්බෙන් set වෙලා කියෙව්වෙ. කියවලා හිනාවෙන්න යමක් තියයනවා. නිවාඩු පාඩුව කියන්නකො ඉතින් ඕප දූප ටිකක්. අපිත් ඉතින් ආසයි ළිද ලගට set වෙන්න... ;)

    ReplyDelete
  2. හපොයි දෙයියනේ... වෙලා තියෙන දේවල්. මොනව වුනත් පහුගිය අහේනි කාලේ කෑම කෙසේ වෙතත් ගුටිනම් කාලා වගේ.......

    ReplyDelete
  3. ඇති යන්තං පැංචිත් ආවා... අපි‍ටත් දැන් තව ටිකක් හිනා වෙන්න පුළුවනි!

    ReplyDelete
  4. නියමයි නියමයි . . . ඔන්න මමත් අද ඉදන් නිතරම බලන් ඉන්නවා අලුත් තොරතුරු දැන ගන්න . . . !

    ReplyDelete
  5. අද තමයි පැංචිගේ පැටිකිරිය අහම්බෙන් දැක්කේ . . . බුදු අම්මේ . . . එක දිගට ඔක්කොම ටික බැලුවා . . . . තව ටිකෙන් කලිසමත් හෝදන්න වෙනවා . . හිනාවෙලා හිනාවෙලා XXත් යන්න ආවා . . . හොදවෙලාවට තදකරගෙන XXX ට දිව්වා . . . හික් හික් හික් . . . දිගටම ලියන්න පැංචි . . . හරිම ලස්සන ශෛලියක් ඔයාට තියෙන්නේ . . . හරිම වෙනස් . . . හරිම සිරා . . .

    ReplyDelete
  6. මේ සංගමේ පැංචියෙකුත් ඉන්නවා කියලා අද නොවැ දැක්කෙ. පැංචි කෙල්ලටත් වෙලා තියෙන්නේ ලේසි පහසු හැබැද්දිද.. හික් හික්

    ReplyDelete
  7. අම්මේ, හොඳ වෙලාවට ෆොන් එක තිබුනේ. නැත්තං විනාසයි

    ReplyDelete
  8. අයියෝ මාර වැඩේ තමයි..:):)

    ReplyDelete
  9. ඔය එන්නේ සීක්‍රට් එක එක එලියට... :D

    ReplyDelete
  10. අනේ මන්ද ඉතින් පැංචිට වුණ දේවල් වලට වැඩිය බඩ උලුක්කු වෙන කතා ඔයාලට ඇති.මේවා මේ ඩේ ටුඩේ අප්ඩේට්ස්. ඕපදූපද මන්ද අර කිව්වත් වගේ ;)

    ReplyDelete
  11. හුටා, පැංචි වෑරදියට තේරුම් අරන් වගේ. ඕපදුප කිව්වෙ නරක අදහසකින් නෙමෙයි.

    ReplyDelete
  12. මරු දෙන්නනේ සෙට් වෙලා තියෙන්නේ
    හොදා.... හොදා....
    එකම අච්චුවෙන් කපාපු පලු දෙකක්නේ.....

    ReplyDelete
  13. සීයෙ කෑලි කඩේ කොහේ ද තියෙන්නෙ මෙයා...

    ReplyDelete