Wednesday, June 30, 2010

අපූරු කසින් සිස්ටර්

පැංචිට ඉන්නවා නොවැ එක එක ජාතියේ කදිම ලොකු අම්මල ටිකක්. ඇත්තම කිව්වොත් ලොකු අම්මලා ටාස්ක් ෆෝස් එකක්(LATF). පැංචිගේ මවු බඩ පිස්සි වීමේ මහඟු ප්‍රතිඵලය වුනේ පැංචි සහ පැංචිගේ එකම ලොකුම සහෝදර අයියා වසරේ බොහෝ කාලයක් කනේ ඇබ ගහගෙන ඉන්න වීමයි (හෆ්ෆෝ වෙලාවට. ඒ කවුරුත් බ්ලොග් බලන්න දන්නෙ නෑ). ඉතින් දැනමුත්තෝ විදිහට විශේෂ අවස්ථා වලට හදිසියකට එහෙම ඇඩ්වයිස් ගන්න ගියාම අදහස් කෝටියයි ප්‍රශ්න දෙකෝටියයි. ඔක්කොම පරස්පරයි. එතකොට තමයි දිසාව කෝක උනත් ඔලුව හැරුණ අත හොඳයි කියලා හිතෙන්නේ.

කතාව පැංචිගේ පවුලේ මේ අරුම පුදුම ‍LATF ගැන නොවෙයිනේ හැබෑට . මේ එක ලොකු අම්මා කෙනෙක්ට හිටියා දුවෙක්. පැංචිගේ ප්‍රාණ සම ගජ කසින් සිස්ටර් කෙනෙක්. පැංචිට වඩා වැඩිමහලු වුණාට අනේ පැංචිගෙම නොම්මරේ. පැංචි වාසිටි යන්න කොලොම්පුරේ බඩ ගාපු මුල්ම අවදියේ ඉතින් පැංචිගේ ගයිඩ් වගේම ගාඩ් වුණෙත් මේ කසින් සිස්ටර් තමයි.

"ඔන්න මෙයාව බලාගන්න වෙන්නේ දුවට තමයි" පැංචිගේ මවු කියලා කට ගන්න නෑ
" බය වෙන්න එපා ඒවා හරි පුංචි, නඟාව ලස්සනට බලාගන්නම්" කසින් සිස්ටරුත් වගක් වත් නැතුව කිව්වට මොකද ලොකු අම්මා කතාව ඇහිලද කොහෙද කුස්සියේ ඉඳලා ලතෝනි තිබ්බා
" ඒකම තමයි බය. මෙයාගේ වැඩත් සමයං වෙලාවකට"

ඒවා මේවා මොනාවුණත් වාසිටියේ වුණත් පැංචිට ඉද්ද ගැහුවා වගේ ඔලුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් වුනේ ‍ඒ ඇත්තිට පින් සිද්ද වෙන්න තමයි. නගර නිර්මාණයේ පටන් වංහුං ඔක්කොම අ යන්නේ ඉඳලා කියලා දීලා අහු මුළු හැම තැනකම වට වන්දනාවේ එක්කන් ගිය හින්දා පැංචිට හැම තැනැක්ම ගලේ කෙටුවා වගේ. ආය ඇන්දිලි බොරු.

මේ ඔක්කොමත් හරි ලොකු අම්මා කිව්වා වගේ කසින් සිස්ටර් හිටපු ගමන් අංගමොන්ගල් වෙන එකත් හරි!!!

දවසක් පැංචි දැක්කා ගෙදරින් පිටත්වුණ වෙලේ ඉඳලා සහෝදරී කට කනේ තියාගෙන යනවා. අහල පහලින් යන අයත් අමුතු විදිහට බලනවා. සමහරු අඳුරන්නෙත් නෑ. ඒත් එයාගේ හිනාව නවතින පාටකුත් නෑ. මාරම ප්‍රශ්නයක් වෙන්න කලින් පැංචි ඇහුවා මොකද කියලා. " කලබලේට කන්ණාඩි දෙක අමතක වුණා බං. අඳුරගන්න බෑ කවුරුත්"
ඒකත් ඇත්තටම ෆන් රවාගෙන යනවට වඩා.

තවත් දවසක් ලොකු අම්මා සතියකට විතර වට වන්දනා‍වෙ ගිය අවදියක සහෝදරී එලාම් එකෙන් ගහලා වගේ පරක්කු වෙලා ඇහැරුණා. ඒ වෙනකොටත් පැංචිත් 4 පාරක් විතර ඇහැරිලා පොතකට ඔරවගෙනයි හිටියේ. ලොකු තාත්තත් කුස්සියේ හැඳි වලං සංගීත හරබයක හිටියේ. ජිම්බා ඒ කියන්නේ ගෙදර බලු මහත්තයත් උගේ නැට්ට අල්ලගන්න හැල්මේ කැරකෙනවා. ටීවී එකත් පාන්දරම පත්තරේ දිග ඇරගෙන ගෙදර පුටු මේස වලට නිවුස් කියනවා. පැංචි තේ බොන අතර මදුරුවෝ පැංචිගේ ලේ බොනවා. හැමෝම බිසී වගේ. ගමේදි වගේ නෙමෙයි. මෙහෙ උදෑසන මෙලෝ රහක් නෑ. සහෝදරිත් එක හුස්මට එහෙට දුවනවා මෙහෙට දුවනවා සිහියක් පතක් නැතුව. යම යුද්දයක් දීලා පැංචි පාඩම් කරන එකයි තේ බොන එකයි මදුරුවො මරන එකයි එකට කරන්න ට්‍රයි කරද්දි සිසටර්ගේ කාමරෙන් ශබ්ද ගොඩයි.

චූ......ස් සැන්ට් සුවඳක් පැංචි ඉන්න පැත්තට සේන්දු වුණා.
ටොක්...ටොක්...ටොක් සපත්තු අඩි සද්දෙත් ඇහෙනවා.
දඩා.....ස් අල්මාරි දොරත් හරි.

ඇඳ පැළඳ ගත්ත සහෝදරී හැල්මෙ ආවේ පැංචි ඉන්න පැත්තට. පැංචි එතකොට හිටියේ හීනෙන් ‍වගේ බ්‍රිතාන්‍යයි ඉන්දියාවයි අතර ජාත්‍යන්තර සබඳතා ගොඩ නගමින්. හැල්මේ ආපු කෙල්ල මෙන්න බොලේ පැංචි ලඟ හතර ගාතෙන් වැටුණා. පැංවි පැනික් වුණා. ‍වැටුණවත්ද කෙල්ල අර අඩි උස සපත්තු නිසා කියලා බලද්දි ඇහෙනවා දනි පනි ගාලා මොනවද මතුරනවා. හෆොයි දෙවියනේ අන්තිමට පැංචිට ඇහුණේ මාතු පාදං නමා මහං කියනවා. අක්කේ....කියලා පැංචිට ලාවට කෑගැහුණා. හීනෙන් නැගිට්ටා වගේ කසින් අක්කා ගැස්සිලා උඩ බලද්දී ඩෝං ..! ඇණුණා අපූරැ ඔලු ගෙඩිය මේසේ කොනේ. "අපොයි නටපං....මං හිතුවේ අපේ අම්මයි කියලා.....හික් හික් හී" ඔලුවත් අතුල්ලන ගමන් සිසටර් දෙකට තුනට නැමි නැමී හිනා වෙන්න ගත්තා. ඊට පස්සෙ තාත්තට වඳින්න කුස්සියට දුවගෙන ගියා. ඒ පස්සෙන්ම පැංචිත් දුවන් ගියේ බැරිවෙලාවත් ජිම්බට පීතු පාදං නමා මහං කියයිදෝ කියන සැකෙන්.