Monday, September 6, 2010

පැංචි in Wonඩර්ලන්ඩ්


වෙනදා වගේම ඇඳ බදාගෙන කෑදරකමට හිටපු පැංචිට පස් වෙනි
හීනෙකුත් පෙනුනා...... හැමදාම පාතරසේට සැපත් වෙන රවුම් මූණා ඒ කිව්වේ පැංචිගේ ආදරබර පැංචා පූස්, ආඩම්බරෙන් වල්ග කොටෙත් වන වනා හිනාවෙනවා. ඒ අතර පැංචි විභාගයක් ලියනවා. කොලේ අතට ගත්තා විතරයි වෙලාව ඉවරයි කියලා ඒකත් අරන්ගියා. පැංචිට දරාගන්න බැරි දුකක් ආවා. හයියෙන් අඬන්න කට ඇරියා විතරයි විභාග ශාලාවේ කොනේ හංගලා තිබ්බ ටයිම් බෝම්බයක අන්තිම තප්පර කීපය ගෙවෙන්න ගත්තා. 


ටික්...ටික්....ටික්.....ටික්....

පැංචි දුවනවා. ඒත් එකම තැන. 

රවුම් මූණා හිනා වෙවි පැංචිව පහුකරගෙන ගියා. දුවා ගන්න බැරි තැන පැංචි බිම වාඩිවෙලා ආයෙ පාරක් හයියෙන් අඬන්න කට ඇරියා. ඒත් එක්කම එතනට ආපු ට්විලයිට් එකේ ‍ජේකොබ් එකපාරට වෘකයෙක් වෙලා ටයිම් බෝම්බය ගිල්ලා.  පැංචි වෘක ‍ජේකොබ්ව බදාගන්න අත් විදාගෙන පනිනකොට එයා ඤා....ව් ගාගෙන යන්න ගියා. 

ආයෙත් අඬන්න කට හැදුවා විතරයි........ පැංචිගේ පශ්චාත් භාගයට දරුණු ගනයේ ප්‍රහාරයක් එල්ල වුණා. අපොයි...! 
පැංචි ඇලවිච්ච ඇස් අමාරුවෙන් ඇරියා. ඇඳ අයිනේ හිටගෙන හිටි පැංචිගේ මවු ඔරවන ලීලාවවක් යන්තම් සන්තම් පෙනුන නිසා පැංචි  මරන්න ගෙනියන හරක් පැටියෙක් වගේ අකමැත්තෙන් වැනි වැනි ඇඳෙන් බැස්සා. 




ඤෑ.........ස්  පැංචි ගැස්සිලා ගියා. අප්පද බොල ඇඳ යට ‍නිදන් හිටි රවුම් මූණාගේ වලිග කොටේ උඩට නොවැ පැංචි ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඌ ගේම දෙවනත් වෙන්න කෑ ගහගෙන දිව්වා මෙලෝ සිහියක් නැතුව. 

වෙලාව තිතට හතයි. අට හමාරට පෙර කන්තෝරුවට වාර්තා කිරීම වටී. අටයි කාලට මාතලී පැමිනෙයි.අද නම් මූණ ස්ක්‍රබ් කරගන්නැතුවත් බෑ. අඳින්නේ මොකක්ද කියලවත් හිතලා නෑ. 

පැංචි ඇඳුම් අල්මාරියට ගොඩ වුණා. පිදුරු ගොඩේ ඉඳිකටු හොයන එක ලේසියි මේකේ ඇඳුමක් හොයනවට වඩා. ඔලුව ඔබං ඉඳලා ටික වෙලාවකින් පැංචිගේ ඔලු ගෙඩියත් කැරකෙන්න ගත්තා. 

වෙලාව හතයි කාලයි. කරන්න වැඩ කෝටියයි. ඔක්කොම නිවි හැනහිල්ලේ කරන්න ගියොත් මාතලී යන්න යයි. 

පැංචි වට තුනක් කැරකුණා. හැරි පෝටර්ට වගේ වොන්ඩ බාර් එකක් තිබ්බනම් නැත්තම් බියුටි ඇන්ඩ්ද බීස්ට් එකේ බියුටිට වගේ පෙරැස් මුද්දක්වත් තිබ්බනම් මෙලහකටත් කන්තෝරුවේ. ඕවා මේවත් ඔලුවෙ වැඩ කරන ගමන් පැංචිගේ මවු කටේ ඔබාපු බත් කටකුත් හප හපා පැංචි ත්‍රීවිල් රථයට ගොඩ වුනා. ඇතුලෙ ඉඳගෙනම ඔලුවත් පීරගෙන මේකප් ටිකකුත් උලාගෙන සූටියත් කර තියාගෙන පැංචි කාර්යාලයට පය තියන කොටම යන්තම් අටයි විසි නමය වුණා විතරයි. 

හෑක්....... පැංචිද කොහෙද උදෙන්ම ඇවිත් තියෙන්නේ. 
ආ....නෑ...නෑ..ලැබ් අඩවියේ කම්පීතර දෙකකට අරක් ගත් මනුස්ස පරාණ දෙකක් පැංචිගේ ඇහ ගැටුණා. එක් පරාණයක් සසී නැමති කාලවර්ණ තරුණයෙකු වූ අතර අනෙකා කෙස් විදාගත් කුෂාන් නැමැත්තෙක් විය. පැංචි වීදුරු කුටිය පැත්ත නම් වැඩිය බලන්න ගියෙ නෑ. ඇඩ්මින් පුටුවනම් කලින් දවසේ කැරකුනු විදිහටම තියනවා. සුදු ඇඩ්මින් අක්කා දැන්ම එන පාටක් නෑ වගේ. 

ඉහළට ඇදපු හුස්ම සින්ග් ගාලා පහලට දාගෙන මල්ලත් ලොකර් කූඩුවේ හිර කරලා හනික පහන පත්තු කරල බුදුන් වැන්දා. උදේ වරුවෙ පන්තියකට දරුවො කීපදෙනෙක් ඇවිත් හිටිය නිසා පැංචි ඒ කාර්යට මුළු හදින්ම යොමු වුණා. 

අනේ ඒත් ලඟකදි ඉඳලා දෛවය පැංචිට සරදම් කරන්නෙ හරිම දරුණු විදිහට.දවසේ පූර්ව භාගයේ කළ යුතු භාරදූර රාජකාරියක් කලට වේලාවට නොකිරීමේ ආනිසංස පහළ වීම හේතු කරගෙන පුදනකොටම කාපි යකා කියලා සුදු බෝඩ් එකේ කලු මාකරෙන් ලියාගෙන ගිය අපූරු වාක්කියේ අන්තිම වචන දෙකත් පැංචිගේ කටත් එක්කම කූරියා ගැහුවෙ හරිම අවාසනාවන්ත විදිහට.





 -The End-



ප.ලි : හුදී ජන හිත සුව තකා පැංචි එම සත් කාර්යට වහා යොමු වු වග මෙසේ දන්වා සිටින්නේ උතුරා යන සතුටකිනි.
Enhanced by Zemanta