Sunday, July 19, 2009

ඩෙංගුවාගෙන් පාඩමක්

කන්තෝරු ගමනත් බක් ගාලා නැවතිච්ච එකේ පැංචි දැන් බොහොම විවේකි, අල්පේච්ඡ, දැහැමි හා නිවුණු දිවිපෙවතක් තමයි ගතකරන්නේ. තුන් වේලටම දෙයියනේ කියලා කාලා දිනපතා ස්නානය කරලා ඔය කියන විවේකය ගතකරනවා. හැබැයි ඉතින් ඔය විවේකයට කණ කොකා අඬපු එක්තරා අඳුරු කාලයකුත් පැංචිට ආවා.

සහශ්‍රයේ රජුට පිං සිද්ද වෙන්නඅම්මා මුත්තා කාලෙට පස්සෙනේ මේ හැමෝම නිදහසේ ගඳ සුවඳවත් විඳින්නේ. ඒත් ඉතින් මේ කරුමක්කාර ඩෙංගුවාගෙන්නේ බේරෙන්න බැරි. හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්ත වගේ. පඳුරක් පඳුරක් ගානේ ගහක් ගලක් ගානේ ඩෙංගු. ඒ මදිවට තව උෘරෙකුයි මීයෙකුයි සෙට් වෙලානේ මදි පාඩුවට. එතනින් නැවතිලා බේරුණොත් ඇති. සත්තු වත්තම පාරට බැහැලා මෙහෙම මනුස්සයට ගින්දර දෙන්න ගත්තොත් මිනිහා කියන සතාට වෙන්නෙ කූඩූවට යන්න. එහෙනම් තව අවුරුදු කීපයකින් මනුසත්වත්තට ආපු වඳුරු ගැටයෙක් වඳුරු අම්මගේ අතේ එල්ලිලා අහයි අම්මෙ අම්මෙ අර සතාටද මිනිහා කියන්නෙ කියලා. වඳුරු අම්ම ඔව් කියලා නිකන් හිටියොත් ඇති. ඔව් මයෙ රත්තරං අපි පැවතගෙන එන්නෙත් උන්ගෙන් තමයි කියලා කිව්වොත් මොන නව නංගිරාවක්ද? බෑ බෑ එහෙම වෙන්න දෙන්න බෑ. ඒත් දැං බලන්න මේ ඩෙංගුවා කරන විපතක තරම.

මෙන්න මේ අඳුරු, භීෂණ -අපොයි වැරදුණා, අඳුරු සීතල කාලවකවානුවේ තමයි ගහක් ගලක් වගේ හිටිය පැංචිත් හිටි ගමන් ඇඳට වැටුණේ. ඔය කාලෙම තමයි යම ගේමක් දීලා කෙලින් කරපු පැංචිගේ කොණ්ඩ ගස් එක දෙක වකුටු වෙන්න ගත්තේ. හරි අපරාදයක් වුණේ. හැබැයි වරදවා හිතන්න එපා. මේ අපරාධය පැංචිට වුණේ වාසිටියේ ගනුදෙනු වගයකට කොළොම්පුරේ ගිය කාලයේදී. නැතුව ගම්තුලානෙදි එහෙම නෙමෙයි. ඩෙංගුවෙක් තියා කෝඳුරුවෙක්වත් මේ අහලක පැංචිගේ ඇහැ ගැටිලා නෑ.

තත්වය ටිකක් නරක අතට හැරිලා රෙඩ් ලයිට් පත්තු වෙනකොට පැංචි රෝහල් ගත කෙරුණා. අනේ එදා ඉඳලා හත් දවසක්ම පැංචිට හරි හමන් කෑමක් බීමක් නෑ. ඇපල්, දොඩම්, සුප් වගේ දේවල් දොස්තරලගේ වදෙන් බේරෙන්න බැරි කමට කෑවා බීවා මිසක් නැත්තම් පැංචිට අල්ලයි ඔය අරුමෝසම් කෑම. යන්තම් ඇහැ කන ඇරගන්නපුළුවන් වෙනකොට පැංචි දැක්ක නරකම දේ තමයි බොහෝමයක් සුදු කබා දාගත්ත නූතන ජීවකයෝ තමන්ගේ ආච්චිලා, අම්මලාවගේ ඉන්න අසරණයින්ට කන පිරෙන්න කතා කරන හැටි. අනේ ඉතින් අර අහිංසකයෝ කබලෙන් ලිපට වැටුණා වගේ තමයි. මනුස්සයා මනුස්සයටම මෙහෙම කරනකොටනම් හිතෙනවා ඩෙංගුවා ඊට වැඩිය හොඳයි කියලා. ඇනලා ගියත් කවදාවත්බැනලා යන්නෙ නෑනේ. ඔය ටික දොහට පැංචිට හිතුණේ ලෙඩ විතරක්ම සනීප වෙලා මදි තව සුව කරගන්න ඕන තැන් බොහෝමයක් මිනිස්සුන්ගෙත් රටේත් තියනවා නොවෙද කියලා.

Friday, July 17, 2009

මෙන්න පැංචි ආ......වා.....

හා.............උදේම නැගිටින එක නම් දැං පැංචිට මරන්නා වගේ. එකමත් එක කාලෙක නම් පැංචි උදෑසනින් අවදිවෙලා කන්තෝරු ගියාලු. ඒත් දැං....කොම්පැණිය වැහුවත් හරි ෆා ද බ්ලොගී නංගියි එයාගේ (හික් හික්) Sithangi ලියන සහෝදරයයි නන්නත්තාර වුණා. ඒකනේ මාස ගානක් යනකන් කාගෙන්වත් බ්ලොග් වැටුණෙ නැත්තේ. දැං ඒ තත්වය තරමක් දුරට මඟ හැරිලා තියෙන්නෙ. ඔය ගන්ධබ්බ වකවානුවේ පැංචිටත් හුටපට ගොඩාක් වුණා. හිටින්න පොඩ්ඩක් හිටින්න......තාම පැංචි නැගිට්ටා විතරයි. සුපුරුදු මෝල්ටඩ් පානය අරගෙන වාඩි වෙනකන්.

ඕං හරි. ඉතින් ඉතින් මාස ගානක කතන්තර තියනවා කියන්න. පැංචිව ගොඩ දෙනෙක්ට අමතක වෙන්නත් ගිහිල්ලා නේද?ඒකට කමක් නෑ. පැංචිගේ හිතේ කහටක් නෑ. තිබ්බ ටිකත් මේ දැං තේ කෝප්පෙට දිය කලා.
ඉස්ඉස්සෙල්ලාම කියන්න ඕනි පැංචි දැං මොඩ් වෙලා ඉන්නෙ. කැරලි ගැහිලා තිබ්බ උපන් කොණ්ඩෙ පැය හයක් විතර පොර බදලා කෙලිං කරගත්තා. උදව්වට දෙන්නෙක්ම හිටියා. එක්කෙනෙක් දකුණෙන් ඇද්දා. අනිකා වමෙන් ඇද්දා. පැංචිට තරු එක දෙක පේන්න ගත්තා. තරු වගේද මොඩ් වුණාම කියලා හිත දැඩි කරගත්තා. ඒත් කිව්වම මොකද හීන් දාඩියකුත් එක්ක ඇස් වලින් කඳුලුත් පැන්නා. මූණ ජම්බෝලේ වගේ විච්ච නිසා එයාලට දුක හිතිලා ෆ්‍රී ඔ‍ෆ් චාජ් නෙස්ටමෝල්ට් එකක් දුන්නා ප්‍රබොධමත් වෙන්න. භාගෙට පණ ගිහින් කැරකෙන පුටුවෙන් නැගිටින කොට එක්කෙනෙක් කිව්වා ගිහිං පැනඩෝල් පෙති දෙකක් ගන්න කියලා. කට්ටක් කෑවට මොකද කණ්ණාඩියෙන් මූණ බලන කොට තමයි පැංචිගේ දෙහි ලෙල්ලක් වෙලා තිබ්බ මූණට පැඟිරි ටිකක් වැටුණෙ. හප්පා....ඔයින් ගියා මදෑ. මොඩ් වුණ එකත් මෝඩ නොවී විච්ච එක ගැන හීන් සතුටක් පැංචිට දැනුණා.

කොණඩෙත් කෙලින් කරගෙන පැංචි අන්තිම කාලේ ‍කන්තෝරු ගියේ හරියට බෑග් එකේ මොණරු ඉන්නවා වගේ තමයි. වෙන කොම්පැණි වල අය නෝපේ(no pay) නිවාඩු යනකොට පැංචිලාගේ කොම්පැණියේ අය නෝපේ වැඩ කලානේ. ඉතින් ඔය කාලේ පැංචියි, ෆා ද බ්ලොගී නංගියි සෙට් වුණා සීයෙ කෑලි කඩේකට. ඒකත් අමුතු පහේ සෙල්ලමක් වුණා. නා නා ප්‍රකාර ඇඳුම් ආයිත්තම් වලින් ඒ කඩේ පිරිලා තිබුණා. උඩ බැලුවත් රෙදි බිම බැලුවත් රෙදි. රෙදි ගොඩකට පැනලා හිතේ හැටියටතෝර ගන්න තමයි තයෙන්නෙ.

දවසක් පැංචිට බ්ලොගී නංගිව අමතක වුණා.රෙදි තෝරගෙන කවුන්ටරේ ලඟට එනකොට තමයි මතක් වුණේ. පැංචි ටිකක් ගැස්සිලා සෙනඟ කන්දරාවේ එහේ මෙහේ බැලුවට දර්ශන පථයේ කොහේවත් බ්ලොගී නංගි හිටියේ නෑ. ටක් ටික් ගාලා ෆෝන් එක අරන් කැරකුවා අංකේ. මෙන්න බොලේ ඒක රිංග් වෙනවා රෙදි ගොඩක් අස්සෙන්. අනේ අප්පේ....පැංචිගේ පපුව හෝස් ගාලා දාලා ගියා. බ්ලොගී නංගි රෙදි කන්දකට යට වෙලා. දනි පනි ගාලා ඒකෙන් ඇදලා ගන්නකොට තමයි දැක්කෙ. නරකම නෑ වැඩේ! තෝර ගත්ත ඇඳුම් අතේ පයේ බෙල්ලෙ ඔතාගෙන ඉඳලා සද්දන්ත ඇන්ටි කෙනෙක් රෙදි ගොඩක් කියලා ඇදල අරන් විසික් කරලා. කෙලින් ක‍ටින් වෙලා පැංචි සල්ලි ගෙවලා බ්ලොගී නංගිවත් ඇදගෙන එතනින් එළියට පැන ගත්තෙ දෙන්නවම ඔතලා මලුවලට දාන්න කලින්.
අනේ මේ වගක් බ්ලොගී නංගිගෙන් අහන්න ඔනි නෑ. ඇහුවත් ලැජ්ජාවට කියන එකකුත් නෑ. ඔන්න ඔය වගේ තව අලකලංචි එමටයි. එහෙනම් පැංචි ආයෙත් එන්නම් රස කතා මල්ලක් අරගෙන. එතකන් බා............යි.

Sunday, July 12, 2009

ආවා.....ආවා.....ආවා.....

ආයුබෝවන් ආයෙත් හැමෝටම

මෙන්න පැංචි ආයෙත් ආවා බොහොම කාලෙකින් ! පැංචිටත් මේ ටික දොහට වු‍ණේ සුලු පටු දේවල්යැ...... හා හා ඕවා මෙහෙම ආවට ගියාට කියන්න බෑ. හිටින්කො පැංචි ඩිංගිත්තක් හති ඇරලා එනකං......එතකං දඟ වැඩ එහෙම බෑ ඔන්න...