Saturday, January 24, 2009

පැංචිට තවත් දවසක්.........!

වැඩට යන එන එක මතක් වෙනකොට හීන් දාඩිය දාන එක දැන් දැන් ලෙඩක් නෙමෙයි normal දෙයක් කියලා පැංචිට තේරිලා දැන් ගොඩක් කල් වෙනවා. කන්තෝරු ගිහින් වැඩ කරන එකයැ මහ වැඩේ? මේ බස් වල යන එන එක නේ...

පුරුදු විදිහටම සැන් පවුඩර් දමාගත්තු පැංචි gel ටිකක් යහමින් ගාගෙන අලුත් පන්නේ මල්ලකුත් කරට දමාගෙන බෝංචි ඇට හිටවන අඩි සපත්තු දෙකකුත් දමාගෙන උජාරුවෙන් අඩියට දෙකට ඔන්න halt එකට දිව්වා. චිරි චිරි වැස්සත් තාම ඉවරයක් නෑ.

පායන දවසට යස අගේට තියන "කර්පට්" පාර වැස්සම අපායක් වෙන්නේ ඇයි කියලා ඒ අස්සේ පැංචිට හිතුනා. ඉස්සරහා වීදුරුවෙන් බැලුවම පිටිපස්ස වීදුරුවෙන් එළිය පේන බස් එකක් ආවා.

හරි පුදුමයි! උතුරා යන සතුටකින් බස් එකට ගොඩ වෙලා යස සීට් එකක් බලලා පැංචි හරි බරි ගැහුනා. දැන්නම් නින්ද ගියත් සැපයි. වැනෙන බස් එකේ තාලෙටම සිංදුවකුත් මුමුනමින් පැංචිත් ‍‍ජොලි පිට යනවා. යන ගමන් ජනේලෙන් බෙල්ල දාලා මැගී අක්කගේ කොළ කැඳ කෝප්ප කඩේ දිහත් හැරිලා බැලුවා.

වෙනදට හැටට හැටේ යන බස් එක අද ඉබි ගමනින් වගේ.

ඉල්ලන්නත් කලින් කොන්දොස්තර මල්ලිට සල්ලි දීලා පැංචි ආයෙත් සිංදුවක් මුමුනන්න ගත්තා.අප්පද බොල! මැගී අක්කා තව කොළ කැඳ කෝප්ප කඩයක් දාලා වගේ. පුහ්! ඒකත් නැගලා යන බිස්නස් එක තමයි.

පැංචිටත් ඔපදූප නැතුව බෑනේ.

ආයෙමත් ජනේලෙන් බෙල්ල දැම්මෙ මැගී අක්කනම් යකඩ ගෑනියෙක් කියලා හිත හිතමයි. එතකොටයි පැංචිට තේරුනේ බස් එක නැවතිලා තියන බව. එහෙන් මෙහෙන් ඇහෙන හෝන් සද්දෙත් එන්න එන්නම වැඩි වෙනවා. බස් එකේ අයත් කුනු කුනු ගාන්න පටන් අරන්.

රියදුරු මහත්තයත් ඔලුව බේරගන්නද කොහෙද ඇහෙන නෑහෙන ගානට වගේ කිව්වා පාර වහල වගේ කියලා. තවත් මහත්තයෙක් ඒත් එක්කම වගේ කිව්වා ඔන්න මහ සභාවක් රැස් වෙන කතාවක්. ඉහලට ඇද්ද හුස්ම පහලට දාගන්න බැරුව හිටිය පැංචි ඔරලෝසුව දිහා බැලුවා.

අපේ ගොඩක් මහත්තුරුන්ට වගේ සීට් එකට තියන කෑදර කමට පැංචිට නැගිටලා යන්න හිතුනෙත් නෑ. බස් එකේ එකා දෙන්නා බැහැලා ගිය නිසා අදි මදි කර කරම නැගිට්ට පැංචි චිරි චිරි වැස්සේ පයින්ම ඉස්සරහට ඇදුනා.

වතුරත් දෙබෑ කරගෙන, නලා පිඹගෙන එක පෙළට කඩන් බිඳන් යන කළු රථ පෙළ දැක්කම පැංචිට මතක් වුනේ නාලාගිරි ඇතා ගේ ගමන.චිරිස් ගාලා වැදුන මඩ වතුර පාරකින් බස් නැවතුම් ප‍ලේ අයගෙ ඇඳුම් බතික් වුනා.

"ඔය යන විදිහට තමයි අපටත් පිඹන් යන්නේ" , කොහෙන්දෝ කියනවා ඇහුනා.

කකුල් කෙඩෙත්තුව බලන්නෙ නැතුව පැංචි පයින්ම කන්තෝරුවට ඇදුනේ ඇඟටත් හොඳයිනේ කියලා.ඒත් කන්තොරුවට අඩිය තියන්නත් කලින් සෙරෙප්පු පටිය කැඩිලා විසි වෙනකොට නම් පැංචිට කේන්ති ගියා.ඔන්න ඔය වෙලාවෙ තමයි අපේ පැංචිට හිතුනේ ඊළඟ පාර ඡන්දෙටනම් ගමේ යන්නෙ නෑ කියලා.

2 comments:

  1. කොළඹ ඉන්න කාලෙ උදේ හවස දෙකේම ප්‍රභූන්ට ඉඩ දීලා පාරේ චාටර් උනා දැන්නම් එහෙම කරදර නැහැ

    ReplyDelete
  2. හහ් හහ් පැංචිත් දැන් නම් ඒ කරදරෙන් ගැලවිලා ඉන්නෙ

    ReplyDelete