Monday, January 26, 2009

ඔන්න පැංචිට තවත් දවසක්....!

පැංචි කන්තොරු යන්නෙත් කන්කන්තොරු ඇරිලා ගෙදර එන්නෙත් පොදු ප්‍රවාහන සේවයෙන්නෙ.
අනික් බොහෝමයක් සේවක නෝනා වරුන්ටයි මහත්තුරුන්ටයි වගේ අපේ පැංචිත් හැමවෙලාවෙම ඉන්නේ කම්මුලට අත තියාගත්ත ගමන්.

පවුලක් පන්සලක් නොවී ඉන්න නිසාද කොහෙද පැංචිට තනි කකුලෙන් අඩව් අල්ලන්න පුලුවන් වෙලා තියෙන්නෙ. බස් ගාස්තු වැඩි කරනවා කිව්වමයි ගෑසුත් ගෑස් පෙන්නනවා කිව්වමයි තනිකඩ පැංචිටත් හීල්ලෙනවා. එක රොකට් එකක්නම් මදෑ එක පිට එක රොකට් ගොඩක් යනකොට ඉතින් මොකද කරන්නේ?

ඕවා මේවා කල්පනා කර කර පැංචි halt එකට ආවා. පැත්තකට ඇලවුන බස් එකක් සේන්දු වෙනවා පේනවා. පැංචි ඇරෙන්න නැවතුමේ හිටිය හැමෝම අන්තිම බස් එක වගේ නඟින්න පොර කෑවා.

"ෆුට් බෝඩ් එල්ලෙන්න එපා" රියදුරු මහත්තයා කෑගහන්න ගත්තා.

"අපිටයි දඩ කන්න වෙන්නේ,බහින්න බහින්න. තව බස් එනවනේ" කොන්දොස්තර මල්ලී ෆුට් බෝඩ් එකේ එල්ලිගෙනම කෑ මොර දෙන්න ගත්තා.

ඔය සමහර star තරඟ වල වගේ බලාපොරොත්තු සුනේ සන් කරගත්ත පිරිස තැන් තැන් බලලා ආයමත් හිට ගත්තා.තව සාඩින් දෙක තුනක්ම නැවතුම් පොළ ළඟ නතර කරලා එයහන් මෙහෙන් පටවගෙන යන්න ගියා.

බස් එක අද්දනකොටම කලබලෙන්ම ගොඩවුන නෝනා කෙනෙක්ගේ සෙරෙප්පුවක් ගැලවිලා විසි වුනා.කෑගහලා සද්දෙ දාලා බස් එකත් නවත්තලා සෙරෙප්පුවත් අහුලගෙන ඔන්න ඒ බස් එකත් යන්න ගියා.

ඈනුමක් ඇරලා පැංචි ඔරලෝසුව දිහා බලනකොට තමයි දෙයියෝ සිහි වුනේ.වටින් ගොඩින් කලුවරත් වැටී ගෙන එනවා. ඊළඟ බස් එකේ නම් එල්ලිලා හරි යනවා කියලා මැරතන් එකකට ලෑස්ති වෙන්න වගේ පැංචි සෙනඟ පීරගෙන ඉස්සරහට ගියා.

තවත් සාඩින් ටින් එකක් ආවා.

පැංචි මේ සැරේ නම් අත ඇරියේ නෑ. කොහොම හරි දඟ දාලා බස් එක ඇතුලටම රිංග ගත්තා. පුහ්! මේක ඇතුල පාන් පෝරණුවක් වගේ නෙ? පුරුදු විදිහටම බෑග් එකත් තුරුලු කරගෙන තනි කකුලෙන්ම ගමන පටන් ගත්තා.

බස් එක ඇතුලෙත් හැල හොල්මනක් නෑ. එක්කෙනෙක් හැරුනොත් තවත් එක්කෙනෙක් ගෙ කකුල පෑගෙන නිසා හැමෝම ගල් වෙලා. ඊළඟ halt එකෙන් නවත්තපු බස් එකෙන් තොගයක් සෙනඟ බැස්සා. කොහේදෝ ඉඳලා හමාගෙන ආපු හුළඟකින් පැංචිට ඉබේම සුසුමක් පිටවුනා.

ඇඟ ටිකක් cool වී ගෙන යනකොටම ඇහුන මහා ගාලගොට්ටියකින් ආයෙත් පැංචිගේ ඇඟ රත් වෙන්න ගත්තා. ආරක්ෂාව පිළිබඳ sure එකක් නැති මේ කාලේ පණ කෙන්ද ගැන තියෙන්නෙ පුදුම ආසාවක්නෙ?

එහෙන් මෙහෙන් කරලා ජනේලෙකින් බෙල්ල දාලා බලපු පැංචිට පෙනුනේ වැළහින්නක් වගේ වැළපෙන මැදි වියේ නෝනා කෙනෙක් වට කරගෙන පොදි කන මිනිස්සු ගොඩකි.

" පොකට් ගහලා,පොකට් ගහලා"බස් එකේ අහු මුලු වලින් ඇහෙන්න පටන් ගත්තා. කොන්දොස්තර මල්ලීත් මිනිස්සු ගොඩේ.

"තම තමන්ගේ බෑග් පරිස්සම් කරගන්න"රියදුරු තැනැත් අනතුරු ඇඟවීමක් කළා.

බස් එකේ හිටිය කාගෙ කාගෙත් ඇහැ තමන්ගේ බෑග් වලට හැරුණේ ඉබේටම වගේ.කඳුළු වගුරන නෝනව තනි කරලා එකා දෙන්නා තමන්ගේ වැඩක් බලාගෙන යන්න ගියා.

බහින අය බැහැලා නඟින අය නැඟලා බස් එක ආයෙත් ඇද්දුවා. බෑග් එකත් අතකින් බදාගෙන අනිත් අතින් පොල්ලත් අල්ල ගත්ත පැංචිගේ හිතත් ටිකක් ගැස්සිලයි එදානම් තිබුනේ.

6 comments:

  1. හපෝයි. පැංචි විඳින දුකක්. ඒත් ඒකෙත් පොඩි ගතියක් තියනව.

    ReplyDelete
  2. දවසක් පිරිමි කෙනෙක්ට බස් එකේ කලන්තේ හැදුනා. එයා ආවෙත් වාඩි වෙලා..

    වැඩි සෙනගක් හිටියෙත් නැ..

    පස්සේ තමා දැනගත්තේ එයාගේ එදා පඩෛ පැකට් එකම පොකට් ගහලා කියලා. :(

    මෙහෙමත් නරුමයෝ...... ඒ පවුල කොහොම ඉන්න ඇද්ද ඒ මාසේ, ඒ විතරක්ද දෙමාපියන්ට බෙහෙත් අරන්දෙන්නත් තියෙනවා කියා ඒ මහත්තයා හඬ මින් කීවා.

    ReplyDelete
  3. කවදා හරි මාව පොකට ගහපු එකාට තමා කලන්තේ හැදේන්නේ

    ReplyDelete
  4. කවිද ඉතින් මේවට වග කියන්නෙ නේද?

    ReplyDelete
  5. මම අද නේ පැංචිව දැක්කේ... පැංචිගේ මුළු විස්තරේම කියෙව්වා.. හරි ශෝක්!

    ReplyDelete
  6. අනේ බොහොම ස්තූතියි

    ReplyDelete