Sunday, March 15, 2009

Good Morning මෙයාලා!

බිසී දවස් කීපයකට පස්සෙ ඔන්න අද තමයි පැංචි පෙනහලු දෙක පිරෙන්නම හුස්මක් ගත්තේ.මොකද දන්නවද අද පැංචිගේ සෞඛ්‍ය දවස. පැය 7 බියුටි ස්ලීප් එක පැය 10 දක්වා දීර්ඝ කරගෙන දෙයියනේ කියලා පාන්දර 9ට විතර තමයි පැංචි ඇහැරෙන්නේ.

ඔන්න ඉතින් පැංචිගේ සෞඛ්‍ය දිනයේ අනිවාර්ය අංගය තමයි හිසතෙල් ගා ස්නානය කිරීම. මොකද මේ නැකත පැංචිට උදා වෙන්නෙ අර මොකාද විය සිදුරෙන් අහස බලන දවසටලු. මේ දවසට පැංචිගේ ගෙදර කුස්සිය පැත්තේ අඩුම කුඩුම එහෙම ටික ටික අඩුවෙනවා. අයිස් පෙට්ටියෙන් ගත්ත cucumber ගෙඩියක භාගයක් බඩට යනකොට අනිත් භාගෙන් මූණට සැලඩ් වැටෙනවා. කුස්සියේ පාටවත් හරි හැටි දන්නෙ නැති පැංචි අතින් එදාට කෑම වට්ටෝරු ගොඩක් හැදෙනවා හැබැයි එකක්වත් කෑම මේසෙට යන ඒවා නෙමෙයි.

කොහොම කොහොම හරි කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තරු ප‍හේ සැපක් දීලා දවසින් භාගයක්ම පැංචි ගතකරන්නෙ අංශක 180ට තමයි.

ඔන්න ඉතින් අදත් එහෙම දවසක් නිසා එහෙ මෙහෙ දුව දුව බ්ලොග් ලියන්න තරම් තදියමක් නම් නෑ.ඒ වුණත් තදියම නිසා පැංචිට වෙච්ච අලකලංචිනම් එමටයි. මේ එහෙම කතන්දරයක් කියන්න තමයි පැංචි තේ කෝප්පෙ තොල ගාන ගමන් හරිබරි ගැහුණේ.

කිව්වම මොකද පැංචි කෑමට වඩා හරිම කෑදර නින්දා ගන්න.ඒක ඉතින් මේ හැමෝටම ව‍ගේ වැළඳිලා තියන ලෙඩක් නොවන ලෙඩක්නෙ. මේ දවස් වල තරමක් සීතල නිසාම නින්දෙ යනවත් වැඩියි.හැමදාම උදේට alarm එක off වෙන්න හදලා තියෙන්නෙ ස්වයංක්‍රීයවම බැට්රි බැහැල off වෙන විදිහට.

දවසක් පැංචි ඔහොම දනි පනි ගාලා ඇහැරෙනකොට මෙන්න බොලේ කරන්ට් නෑ.කලුවරේ ජරමර කියලා කොහොම කොහොම හරි පැංචි කන්තෝරු යන්නත් සූදානම් වුණා.මොන කලබලේ වුණත් පැංචි ජැන්ඩියට පහට ඇඳලා තමයි කළඑළි බහින්නෙ.පාරට බැස්සට පස්සෙ ඉතින් අපේ සුසන්තිකා අක්කා කැලේ. වෙලා ගියාම පැංචි කරන්නෙම නැති වැඩේ තමයි ඔරලෝසුව දිහා බලන එක. කට කපලා ආපු පාන් පෙට්ටියකට ගොඩ වුණු පැංචිට ටික දුරක් ගිහින් හරිබරි ගැහිලා වාඩි වෙන්න සීට් එකකුත් ලැබුණා. එතකොටයි පැංචිට ක්ලික් වුණේ කවුරු කවුරුත් පැංචි දිහා ඕන කමෙන් බලනවා කියලා. එක අතකට අරුමයක් නෑ ඉතින් ඇහට විතරක් නෙමෙයි කනටත් පේන ගැටිස්සියක් වුණාම ඔහොම තමයි කියලා හිතලා ටිකක් ආඩම්බරෙන් පැංචිත් හිටියා. පුරුෂ පක්ෂය බලනකොට පැංචිගේ කම්මුල් රතු වුණාට මොකද කාන්තා පර්ශවය එහෙන් මෙහෙන් කොකන් කරනකොට නම් පැංචිට ඌරු ජුවල් නැග්ගා.

මොකක් හරි නමුත් වැරදිලා තියන බව පැංචිට ඉවෙන් වගේ දැනුණා. බස් එකේ ඉස්සරහ වීදුරුවෙන් යාන්තමට පෙනුන ඡායවෙන් පැංචි දැක්කා රෑට හරි මැදින් රූල ගහලා දෙකට බෙදලා ලස්සනට ගොතලා රෙදි පටි දෙකකින් ගැටගහලා තිබ්බ කොණ්ඩ කරල් දෙක ලිහුවෙ නෑ නේද කියලා. නැට්ට පිටින් අලිත් මැරෙන අද කාලේ ඕක මහ දෙයක් නොවෙන ගානට පැංචි අමාරුවෙන් ඇස් දෙක පියාගෙනම ගියා. අලි මදිවට හරක් කිව්වලු. පැංචි පස්සෙයි හරියටම දැක්කෙ කිටි කිටියේ තදවුණ අලුත් පන්නෙ මිනි සායට උඩින් කෝට් බ්ලවුස් එක කියලා කලුවරේ ඇඳලා තියෙන්නෙ රෑට සීතලට අඳින පරණ ජර්සි කබල නේද කියලා.ඒකත් තැනින් තැන අණ්ඩ දාලා තිබුණ නිසා පැංචිගේ මොඩ් එකනම් එදා හේ.........දිලා ගියා.

9 comments:

  1. ජොලි ගුඩ්
    ඉතින් ඊට පස්සේ???

    ReplyDelete
  2. අනේ අපොයි පැංචිටත් වෙන්නේ මාර හුට්ටස්පර තමයි! පව් දෙවියනේ..

    ReplyDelete
  3. අනේ ඔයාද එදා ඒ විදිහට බස් එකේ ගියේ.
    අපරාදෙ , දන්නවනම් කතා කරනවනෙ.
    මම හිතුවෙ ..........
    එක්කො ඕනෙ නැහැ ඒක කියන්න. පවුනෙ චූටි පැංචි
    :-)

    ReplyDelete
  4. මම ඔයාගෙ අනිත් ලිපිත් කියෙව්ව.සාමාන්‍ය ‍ජී‍විතයෙ සිදුවන දේවල් සුන්දර විදිහට ලියල තියනව.ඔයා ලියන ‍ශෛලිය හොඳයි දිගටම ලියන්න.

    ReplyDelete
  5. හා.........නේ පැංචි, ඔය කියන්නේ අර බලු තඩියෙක් ඔයාගේ පස්සෙන් ආපු දවස ගැන නේද? ඒ කතාවත් කියමුකෝ දවසක. කට්ටිය කැමති වෙයි ඒ හුටපටේත් දැන ගන්න.

    ReplyDelete
  6. ඇත්තම කියන්න මේ වැඩේ පැංචි ගේ ප්‍රාණසමාන මිතුරියකට විච්ච හදියක්.පැංචිට වුණ වැඩක් වගේ කිව්වා රසවත් වෙන්න. හැබැයි පැංචිටත් වෙන වැඩ ඊට පරාද නෑ. ඒ වගේ විච්ච බලු සීන් එකක් ගැන තමයි අපේ ෆා ද බ්ලොගී නංගි මතක් කලේ. ඒකත් කියන්නම්කො පස්සෙ.

    ReplyDelete
  7. ටී ෂර්ට් ගැන කිව්වාම තමා මටත් මතක් වුනේ... මමත් නව නිර්මාණයක් කලා ඇත්තටම මගේ මිතුරු ධනා තමා ඕක මුලින් කලේ... වැඩේ තමා... ටී ෂර්ට් එක කණපිට ඇඳලා එකේ හොඳපිට කියලා ගහන එක... වැඩේ ලේසියි.. එවගේම අඳින දවස් ගණන දෙගුන වෙනවා...

    ReplyDelete
  8. ලියන විදිය නම් පංකාදු පහයි. දිගටම ලියාගෙන යන්ට නෝනෙ. අපේ ගම් වල කතන්දර කලාව හරිම පිලිවෙලට එකතු පහදු කොරල තියෙනව අපෙ පැංචි නෝනෙ.

    ReplyDelete