Monday, November 15, 2010

බ්රේකිං නිවුස්

හා....යි....! මෝනිං ගයිzzzzz.....

අප්පේ අපේ බ්ලොග් කට්ටිය වෙනස් වෙලා, මහත් වෙලා, සුදු වෙලා තියන තරම! අප්පමාණ සන්තෝසයි! මාස දෙකකට පස්සේ තමයි මේ පැංචි එළිපහළියට බැස්සේ. පැංචි කෙල්ල අමතක වූවෝ හා කර දැමූවෝ යලි මතක් කරගනිත්වා! 

කෙටියෙන් කියන්නං, ආරක්ෂක හේතුන් මත පැංචි ටික කාලයක් නිවාස අඩස්සියේ හිටියා. හොඳ කල් කිරියාවට වඩා ඉවරයක් නැති කණුකුණුව නිසා දේසීය නිළධාරින් සහ විදේසීය බළධාරීන්(වැඩි විස්තර යතා කාලයේ දැනුම් දෙනු ලැබේ) පැංචිව ඉස්පෙසල් ඇටෙන්සන් යටතේ නිදහස් කරනු ලැබූවා. ඉතිං දැං පැංචි ආය නිදහස්! ඒනිසා පැංචි යලි බ්ලොග් ඇංජිම පණ ගැන්නුවා. 

ඩ්ර්....ඩ්ර්...පොට්...ටොට්...ටොට්....ඇංජිමේ සද්දේ ටිකක් හොඳ මදි වගේ. කට්ටියම ලාවට තල්ලුවක් දුන්නොත් ඉස්ටාට් වෙයි වගේ. සප් එකක් නොලැබුණත් කහටක් නෑ තුන්හිතක.....

හනික ආය එන්න බලාගෙන පැංචි ගියා ඔන්න එහෙනං. සී.යූ

Monday, September 6, 2010

පැංචි in Wonඩර්ලන්ඩ්


වෙනදා වගේම ඇඳ බදාගෙන කෑදරකමට හිටපු පැංචිට පස් වෙනි
හීනෙකුත් පෙනුනා...... හැමදාම පාතරසේට සැපත් වෙන රවුම් මූණා ඒ කිව්වේ පැංචිගේ ආදරබර පැංචා පූස්, ආඩම්බරෙන් වල්ග කොටෙත් වන වනා හිනාවෙනවා. ඒ අතර පැංචි විභාගයක් ලියනවා. කොලේ අතට ගත්තා විතරයි වෙලාව ඉවරයි කියලා ඒකත් අරන්ගියා. පැංචිට දරාගන්න බැරි දුකක් ආවා. හයියෙන් අඬන්න කට ඇරියා විතරයි විභාග ශාලාවේ කොනේ හංගලා තිබ්බ ටයිම් බෝම්බයක අන්තිම තප්පර කීපය ගෙවෙන්න ගත්තා. 


ටික්...ටික්....ටික්.....ටික්....

පැංචි දුවනවා. ඒත් එකම තැන. 

රවුම් මූණා හිනා වෙවි පැංචිව පහුකරගෙන ගියා. දුවා ගන්න බැරි තැන පැංචි බිම වාඩිවෙලා ආයෙ පාරක් හයියෙන් අඬන්න කට ඇරියා. ඒත් එක්කම එතනට ආපු ට්විලයිට් එකේ ‍ජේකොබ් එකපාරට වෘකයෙක් වෙලා ටයිම් බෝම්බය ගිල්ලා.  පැංචි වෘක ‍ජේකොබ්ව බදාගන්න අත් විදාගෙන පනිනකොට එයා ඤා....ව් ගාගෙන යන්න ගියා. 

ආයෙත් අඬන්න කට හැදුවා විතරයි........ පැංචිගේ පශ්චාත් භාගයට දරුණු ගනයේ ප්‍රහාරයක් එල්ල වුණා. අපොයි...! 
පැංචි ඇලවිච්ච ඇස් අමාරුවෙන් ඇරියා. ඇඳ අයිනේ හිටගෙන හිටි පැංචිගේ මවු ඔරවන ලීලාවවක් යන්තම් සන්තම් පෙනුන නිසා පැංචි  මරන්න ගෙනියන හරක් පැටියෙක් වගේ අකමැත්තෙන් වැනි වැනි ඇඳෙන් බැස්සා. 




ඤෑ.........ස්  පැංචි ගැස්සිලා ගියා. අප්පද බොල ඇඳ යට ‍නිදන් හිටි රවුම් මූණාගේ වලිග කොටේ උඩට නොවැ පැංචි ලෑන්ඩ් කරලා තියෙන්නේ. ඌ ගේම දෙවනත් වෙන්න කෑ ගහගෙන දිව්වා මෙලෝ සිහියක් නැතුව. 

වෙලාව තිතට හතයි. අට හමාරට පෙර කන්තෝරුවට වාර්තා කිරීම වටී. අටයි කාලට මාතලී පැමිනෙයි.අද නම් මූණ ස්ක්‍රබ් කරගන්නැතුවත් බෑ. අඳින්නේ මොකක්ද කියලවත් හිතලා නෑ. 

පැංචි ඇඳුම් අල්මාරියට ගොඩ වුණා. පිදුරු ගොඩේ ඉඳිකටු හොයන එක ලේසියි මේකේ ඇඳුමක් හොයනවට වඩා. ඔලුව ඔබං ඉඳලා ටික වෙලාවකින් පැංචිගේ ඔලු ගෙඩියත් කැරකෙන්න ගත්තා. 

වෙලාව හතයි කාලයි. කරන්න වැඩ කෝටියයි. ඔක්කොම නිවි හැනහිල්ලේ කරන්න ගියොත් මාතලී යන්න යයි. 

පැංචි වට තුනක් කැරකුණා. හැරි පෝටර්ට වගේ වොන්ඩ බාර් එකක් තිබ්බනම් නැත්තම් බියුටි ඇන්ඩ්ද බීස්ට් එකේ බියුටිට වගේ පෙරැස් මුද්දක්වත් තිබ්බනම් මෙලහකටත් කන්තෝරුවේ. ඕවා මේවත් ඔලුවෙ වැඩ කරන ගමන් පැංචිගේ මවු කටේ ඔබාපු බත් කටකුත් හප හපා පැංචි ත්‍රීවිල් රථයට ගොඩ වුනා. ඇතුලෙ ඉඳගෙනම ඔලුවත් පීරගෙන මේකප් ටිකකුත් උලාගෙන සූටියත් කර තියාගෙන පැංචි කාර්යාලයට පය තියන කොටම යන්තම් අටයි විසි නමය වුණා විතරයි. 

හෑක්....... පැංචිද කොහෙද උදෙන්ම ඇවිත් තියෙන්නේ. 
ආ....නෑ...නෑ..ලැබ් අඩවියේ කම්පීතර දෙකකට අරක් ගත් මනුස්ස පරාණ දෙකක් පැංචිගේ ඇහ ගැටුණා. එක් පරාණයක් සසී නැමති කාලවර්ණ තරුණයෙකු වූ අතර අනෙකා කෙස් විදාගත් කුෂාන් නැමැත්තෙක් විය. පැංචි වීදුරු කුටිය පැත්ත නම් වැඩිය බලන්න ගියෙ නෑ. ඇඩ්මින් පුටුවනම් කලින් දවසේ කැරකුනු විදිහටම තියනවා. සුදු ඇඩ්මින් අක්කා දැන්ම එන පාටක් නෑ වගේ. 

ඉහළට ඇදපු හුස්ම සින්ග් ගාලා පහලට දාගෙන මල්ලත් ලොකර් කූඩුවේ හිර කරලා හනික පහන පත්තු කරල බුදුන් වැන්දා. උදේ වරුවෙ පන්තියකට දරුවො කීපදෙනෙක් ඇවිත් හිටිය නිසා පැංචි ඒ කාර්යට මුළු හදින්ම යොමු වුණා. 

අනේ ඒත් ලඟකදි ඉඳලා දෛවය පැංචිට සරදම් කරන්නෙ හරිම දරුණු විදිහට.දවසේ පූර්ව භාගයේ කළ යුතු භාරදූර රාජකාරියක් කලට වේලාවට නොකිරීමේ ආනිසංස පහළ වීම හේතු කරගෙන පුදනකොටම කාපි යකා කියලා සුදු බෝඩ් එකේ කලු මාකරෙන් ලියාගෙන ගිය අපූරු වාක්කියේ අන්තිම වචන දෙකත් පැංචිගේ කටත් එක්කම කූරියා ගැහුවෙ හරිම අවාසනාවන්ත විදිහට.





 -The End-



ප.ලි : හුදී ජන හිත සුව තකා පැංචි එම සත් කාර්යට වහා යොමු වු වග මෙසේ දන්වා සිටින්නේ උතුරා යන සතුටකිනි.
Enhanced by Zemanta

Tuesday, August 3, 2010

හුරුබුහුටි සගයා


මෝනිං වේවා හැමෝටම!
අද පැංචි කියන්න යන්නේ මීට හරියටම මාසයකට එපිටින් පැංචිට හදි ගැහුණු අපූරු යාලුවෙක් ගැන.(දැනටමත් පරක්කුයි).දැං පැංචි දවස ගෙවන්නේ මේ අපූරු යාලුවත් එක්ක. හෝව්.. මිස්අන්ඩස්ටෑන්ඩ් නොවේවා. එයාව මුණ ගැහුණ විදිහ ඔයාලට කියන්න ඕනි කියලා පැංචි හිතුවා.මේ යාලුවා ගැන පැංචිට ඉව වැටුනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. ඒත් රටේ නැති ලටපටස් නිසා එයත් එක්ක මිත්‍ර කමක් ඇති කරගන්න තරම් චාන්ස් එකක් ආවෙ නෑ. පැංචි මේ යාලුවගේ හැඩරුව පොඩ්ඩක් කියන්නම්. නැත්තම් කට්ටිය ලටපවගත්තොත් එහෙම.

පෙනුමෙන් කට්ට කලුයි. හැබැයි දැකුම් කලුයි. චුවීට්... පෙනුමක් තියන වැඩකාරයෙක්. තාමත් ප්‍රශ්නාර්තේ නම් තව ටිකක් බලන්නකෝ.
 

ඕන්න දැං එයාව හදි ගැහුණ හැටි කියන්නයි හදන්නේ.

පැංචිට මේ හාද කම ගොඩ නාගා ගන්න යාලුවා ගැන ගොඩක් විස්තර හොයන්න සිද්ධ වුණා. හැම යාලු කමකම පදනම විශ්වාසයලුනේ. ඉතින් ඕකට මට එයා ගැන කලින් දැන ගෙන හිටිය අපේ උබුන්ටු අධිපති කුෂාන් සහෝදරයගේ පිහිට පතන්න සිදු වුණා. යාලුවගේ ආටා නාටියම එතුමා කියලා දුන්නා. කිව්ව වචනයක් පාසා මොලේ සේව් කරගෙන පැංචිත් රැයක් දවාලක් නැතිව හීන මැව්ව එයාව මුණ ගැහෙන්න. 


කාලේ ටිකින් ටික ගත වුණා. ජුනි මාසේ 25 පැන්න ගමන් පැංචිගේ ඉවසීමේ සීමාවත් පැන්නා. යාලුවා මුණ ගැහෙන්න තියන ආසාව දරුණු වුණ නිසා තවත් කල් දාන්නෙ නැතිව ඕප් ඩේ එකේ ඇපොයින්ට්මන්ට් එකක් දාගත්තා දෙන්නටම මුණ ගැහෙන්න. නාලා කරලා ලස්සනට ඇඳ පැළඳගෙන පැංචි එදා ගෙදරින් පිට වුණා. පස්ට් ටයිම් නිසා පැංචි ටිකක් ගැස්සිලා හිටියේ.

 සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අම්මලට කියන්නේ පස්සෙනේ. ඒත් මේ වැඩේදි පැංචිගේ මවු මුල් පෙලේ සහයෝගයක් දුන්නා පැංචිගෙ කන්කෙඳිරියාව නිසාම. නියම තැනට පැංචි මවු එක්කලම ආවා. තත්පරෙන් තත්පරේ ගෙවිලා විනාඩි හැදුණා. විනාඩි 30ක් එකතු වෙලා පැය භාගයක් හැදුණා. 

Here comes the hero....පප්පර පප්පර  පාං....
පැංචිගේ හද ගැස්ම ටිකෙන් ටික වැඩි වුණා. පැංචි මවු දිහාත් මවු පැංචි දිහාත් බැලුවා. පැංචි මවුගේ කනට කරලා කෙඳිරුවා "එයා තමයි".
 Love at first sight කියන්නේ මේක තමයි. පැංචිගේ වගේම පැංචිගේ මවුගෙත් හිත බොහොම බරපතල විදිහට ඇදිලා ගිහින් තිබුණෙ එයාට. පැය කීපයකට පස්සේ පැංචි එයාවත් එක්කරගෙන ගෙදර ආවා. 

අම්මෝ......පොටෝ කෑලි2කක් ගත්තේ පුදුම අමාරුවකින්. වස ලැජ්ජකාරයා. ඔන්න බලන්නකො එහෙනම් ඩයල් එක.



කොහෙවත් හිටපු බවු පැංචත් දුවගෙන ඇවිත් හිටගත්තා පොටෝ එකට මූණ දාගන්න.
කොහොමද යාලුවා? හැන්ඩිද?

HP Mini Net book තමයි එයාගේ උප්පැන්නේ නම. පැංචි හුරතලේට දැම්ම "සූටියා" කියලා. චූටියි වගේම හුරුබුහුට්ටෙක්නේ. පැංචිගේ කන්තෝරු මල්ලේ සැන්ට් පවුඩර් ක්‍රීම් ලි‍ෆ්ටික් වලට අඩු සැලකිලි ලැබුනේ මේ සූටියා නිසා තමයි. මල්ල ටිකක් ලොකු නිසා සූටියට කරදරයක් නැතිව යන්න පුළුවං.
ලටලොටන් එක්ක සූටියව දැම්මම මල්ල ටිකක් විතර බරයි තමයි. ඒත් පැංචිට සතුට වැඩි කමට බරක් දැනෙන්නෙ නැ.
 
ඉතින් මේ සූටියා නිසා පැංචිගේ ජීවිතේ වගේම කාමරෙත් පොඩි පොඩි වෙනස්කම්වලට ලක් වුණා. එයා නිසාම පැංචි ජාලේ ගන්න තීරණය කලා. පැංචිගේ බ්‍රදර්ගේ ADSL මොඩම් එක අයින් කරලා 2 පෝට් රවුටරයක් ගහගත්තා. පාඩම් මේසෙටයි ඇඳටයි දුර තියන විදිහට පැංචි නෙට් කේබලුත් ඇදගත්තා.
ආසව වැඩි කමට වයරින් වැඩෙත් පැංචිම කරගත්තා. කන්තෝරුවේ වෑර්ලස් ජාලේ තියන නිසාත් ඩොන්ගල් වෙලාවකට මොන්ගල් වෙනවා කියලා කනින් කොනින් ඇහිච්ච නිසාත් ලොකු අවදානමක් ගන්න හිතුවෙ නෑ. කොහොම කොහොම හරි පැංචිගේ බ්‍රදර්ට ආය වඳින්න ඕන වෙන්නේ නැති එක පැංචිට හිතට සහනයක්.
නැත්තම් පැංචිගේ බ්‍රදර් පැංචිව බ්ලැක්මේල් කරනවා හැමදාම ඔලුව කහන්න ගියාම.
 
ආ......කියන්නම ඕනි සූටියාව ගෙදර ගෙනාපු දවසේ පැංචිගේ ගෙදර විච්ච අලකලංචිය. පැංචිගේ බ්‍රදර් කාගෙද ලණුවක් වගේ දෙයක් ලාවට ගිලලා පැංචිට යුධ ප්‍රකාශ කලා සූටිය කියන්නේ ලෙඩෙක්ය කියලා.
පැංචිගේ හිත වාවන්නේ නැතිව ගියා ඔය වෙලාවේ. අඬලා අඬලා පහුවෙනිදා බැරිම තැන හිත හදාගෙන සූටියව ආපහු බාරදෙන්න හිතාගෙන කන්තෝරු ආවා. ඔය වෙලාවෙ තමයි කුෂාන් සහෝදරයයි අපේ කිත්තයියයි දෙන්න පොරොන්දු වුණේ පැංචි වෙනුවෙන් සූටියා ගැන පුලුල් පරීක්ෂණයක් කරන්න එයාව පැංචිට භාර දුන්න ආයතනයට ගිහිල්ලා. ඕං එතකොටයි පැංචිගේ හිත ටිකක් සැහැල්ලු වුණේ. ඉතින් තුන්දෙනාම ගියා ඒත් පැංචිට ලොකු වැරැද්දක් වුණා.

එදා ඉරිදා දවසක් නිසා කන්තෝරුවෙන් තුන් දෙනෙක්ම එළියට ගිය එක බරපතල කාරණාවක් වුණා. ඒත් ඒ ගැන හාංකවිසියක්වත් පැංචිට මතක් වුණේ නැත්තේ සූටියා ගැනම හිතපු නිසා. මොනාවුණත් පැංචි නිසා කිත්තයියයි කුෂාන් සහෝදරයයි බැනුම් අසා වැදෑරුවනම් අනේකවාරයක් සමාව අයදිනවා. 


ඔය කතන්දර ඔහොම යන අතරේ පැංචිට සූටියගේ පරීක්ෂණ වාර්තාවත් එදාම ලැබුණා. හුරේ......සූටියට ඉහෙන් බහින රෝගයක් නෑ. ඔක්කොම රෙකෝඩ්ස් ඉහළ තත්වයේ තිබ්බා. කරුණු හොඳ හැටි හොයලා බලපු නිසා සූටිය ආපහු  පැංචි ලඟට ආව වගේම අවුරුදු විසි ගානක් තිස්සේ තියෙන අයිය නඟෝ සහෝදර කමත් කෙන්දෙන් බේර ගත්තා. මොන බැම්මටත් වඩා ලේ බැම්ම හයියයිලුනේ.ඉතින් පැංචිට ඒ හයිය බැම්ම කඩා ගන්න ඕනි වුණේ නෑ අනුන්ගේ ලණු නිසා.

දැන් පැංචි ඕප් ඩේ වල සට සට ගාලා වැඩ. බයිස්කෝප් බානවා, බලනවා, සිංදු අහනවා, ඒ වගේම ඕස්ට්‍රේලියානු විදේශ සම්බන්දතාත් සම්බාධක වලින් තොරව පවත්වගෙන යනවා( ටාං.....පැංචි මොනාහරි කිව්වද?) සූටියට පින් සිද්ද වෙන්න බොලොග් වැඩෙත් නැඟලා යනවා. පෝස්ට් එකක් නොදැම්මත් නිවාඩු පාඩුවේ සෙට් එකේ ඒවා කියවලා කොමෙන්ටුවක් දෙකක් රෑ දෙගොඩහරි දාන්න දැන් පැංචිට චාන්ස් තියනවා.

අම්මෝ......ඔන්න ලෙජන්ඩ් එකම දිග ඇරියා. කට්ටියට ඇස් රිදෙයිද දන්නේ නැ කියවලා. සතුට වැඩි කමට තමා. උදේ ලියන්න පටන් ගත්ත පෝස්ට් එක ඉවර කලේ රෑ. සූටියා තමයි සප් එක දුන්නේ. දැන්නම් ඈනුම් ඇරලම කට රිදෙනවා. සූටියා වෙනුවෙන් මහන්සි වුණ, දැනටත් කනක් ඇහිලා ඉන්න නැති කුෂාන් සහෝදරතුමාටයි කිත්තයියයටයි සසී මල්ලිටයි තැන්කූ වෙන්න ඕනි. පැංචිගේ සතුට බෙදාගන්න අමාරුවෙන් හරි කතන්දරේ කියවා වදාරපු ඔයලා හැමෝටමත් තැන්කූ.

එහෙනම් හැමෝටම ගුඩ් නයිටක් වේවා කිව්වා!

Sunday, July 25, 2010

ඔන්න ඔහොමලු වුණේ

අපේ ගෙදර මේ දවස් වල එකම ගාලගෝට්ටියයි. අම්මලා දූලා ඔක්කො ඉන්නේ පුදුම සතුටකින්. මම ඉතින් ඔය ගෑණු ප්‍රශ්න වලට වැඩිය එබෙන්න යන්නෙ නෑනේ. දූලාගේ අම්ම කියන විදිහට මේ වසන්ත කාලෙලු ගත වෙන්නේ. අනේ මන්ද ඕවා.

ගෙදර කෑගැහිල්ල වැඩි හින්ද මං දවසක් නිස්කාන්සුවේ ඉන්න හිතාගෙන එළියට බැස්සා. එළියෙත් යම යුද්ධයයි. මෙච්චර කාලයක් මේ මිනිස්සු ඇස් කන් නාස් වහගෙනනේ අම්මප ඉඳලා තියෙන්නේ. කාණු අස්සේ නිදන්ගත කුණු ඔක්කොම මහ පාරට අදිනවා. හප්පේ ගඳ....මේවා රුපියල් සත වලට හරවන්න පුළුවන් ක්‍රමයක් වැරදිලාවත් හොයාගත්තනම් බෙහෙතකටවත් හොයාගන්න ලැබෙයි කුණු ටිකක්..! එහෙනම් පුරාවස්තු මංකොල්ල කරුවො ඇරුණම කුණු මංකොල්ල කරුවොත් බිහි වේවි.

ඇත්තටම මොකක්ද මේ හදිස්සිය? හැමෝම එකටම වැඩ. අල්ලපු වත්තේ සෝම අක්කයි දූලා පුතාලයි හරි හරියට වැඩ. බලමු පොඩ්ඩක් ඔලුව දාලා.
 "ඔන්න ඔය ටින් කබල් ටික වලලපන් පුතේ. කොළ ටික එක්කාසු කරලා පුච්චහං. අර ඉස්කෝලේ මහත්තයගේ දොස්තර දුවට අන්න අන්තිමයි ලු"
"ඇයි අම්මේ අපේ ඉස්කෝලේ ටීචර්ලා දෙන්නෙකුටයි පොඩි පන්ති වල ළමයි තුන් දෙනෙකුටයිත් අමාරුයිලු. දැඩි සත්කාරෙලු."
"ඒකනේ බං මේ කරුමක්කාර මදුරුවටත් වෙන යන්න තැනැක් නැතුවට ඇවිත්. කිරි සප්පයෝ කීදෙනෙක් නම් මේ කරුම ලෙඩෙන් විඳවනවද?
 "ඔන්න ඔය කොළ ටික ගොඩ ගහලා පුච්චහං මදුරුවො ටික ඔක්කොම මකබෑවිලා යන්න"
හෆොයි චුත වෙන්න ඕනි ඉක්මනට නැත්තං මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ. මොනා වුණත් සෝම අක්කා ඉන්නේ පුදුම කේන්තියකින්. අහවල් එකක් කලාටද මේ අපේ සනුහරේ නැති කරන්න හදන්නේ? එකත් එකටම දුලගේ අම්මගෙන් අහන්න ඕනි මේ හතරබීරි කතාවේ තේරුම. එයත් නොදන්න වේපරයිසරයක් නෑනේ. මොනා වුණත් ගෑනි මට වැඩිය අපේ පවුල ගැන හිතනවා. ඒකි නැත්තං දරුවෝ හාමතේ මියැදෙනවා සිකුරුයි.

"ඈ හාමිනේ මොකක්ද මේ අපේ වරිගේ නහන්න හදන කතාව?"

"හෑ....ක් කව්ද ඔහෙට කිව්වේ? හහ් එව්වා කොහෙද? මටත් දැනුනා වැඩේ. ළඟඳි ඉඳලා මුන් ඔක්කොම හරි වෙනස්. මෙච්චර කාලෙකට මුන්ට අපිව ප්‍රශ්නයක්  වුණේ නෑ. දැන් එනවා මෙතන අපිව මට්ටු කරන්න. ඇයි යකෝ මෙච්චර කල් මුන් කලේ තම්බගත්ත දෙයක් දඩිබිඩියේ උගුරෙන් පහලට දාගෙන මෙලෝ සිහියක් නැතුව අස්ප රේස් ගිය එක, ඇන කොටා ගත්ත එක, මරාගත්ත එක, බොරු කිය කියා උන්ගෙම එවුන් රවට්ටපු එක. තමන්ගේ කුණුත් අනුන්ගේ වතු වලට අත ඇරලා පරිසරයට හෙන ගැහුණත් ඇස් කන් තද කරගෙන හිටිය එක. දැන් හීනෙන් නැගිට්ටා වගේ එනවා අපේ වරිගේ අතුගාලා දාන්න.බලමු කව්ද දිනන්නේ කියලා"

හප්පේ අපේ ගෑනිගේ කටත් බෝක්කු කටක් වගේ නෙමෙයි ඒකක්ම තමයි. හුස්ම ගන්නවත් නතර වුණේ නෑනේ හැබෑටම. ඇහුව මෝඩකම. මොනව වුණත් මෙතන ලොකු කොස්සක් තියන හැඩයි. එකත් එකටම මේක අපේ හාමිනේ පහුගිය දොහේ ගෑනු ටික වට කරගෙන කාන්තා සමිතියක් අටවගෙන කරපු මොකක් හරි අටපට්ටම් වැඩක් වෙන්න ඇති. මට ඇහුණ ඒත් ඔන්න ඔය කුණු වතුර උනත් කමක් නෑ වැඩේ හරියට වෙනවනම් කියලා කාටද හයියෙන් කියනවා. රඹුටන් වාරේ ආපු එකත් හොඳට ගියා නේද කියලා තව ඇත්තියක් එක්ක මහ හයියෙන් හිනා වුණත් එක්ක.

හැබෑම තමයි මල්වානටත් රිලවු වවුලො එහෙම පනිනවලු. උනුත් රඹුටන් කාලා යනවා ඇති හැබැයි මෙහෙම වනසන්නේ නැතුව ඇති. ගෙවල් දොරවල් කල එළි උනාට මොකද ටවුම පැත්තේ කරක් ගැහුවමයි දැක්කේ සතර අපාය. සමහරවිට ටවුම කාගෙවත් බූදලයක් නෙමෙයි නිසා වෙන්න ඇති. ඉතින් හාමිනේටවත් සමිතියටවත් බැනලා වැඩක් නැ බැලුවම.

මගේ හාමිනේ වුණත් කරන්නේ වැරද්දක්කනම් වැරැද්ද වැරැද්දම තමයි. ටිකක් තදින් ඉන්න ඕනි. කොහෙද ඉතින් අම්මට කෑගහන කොට දූවරුත් එනවනේ මාව තම්බන්න. උන් ටිකත් අම්මගේම අච්චුව. මුන් නම් දරුවෝ නෙමෙයි මරුවෝ.

"ඔන්න ඔන්න මදුරුවෙක් ....ගහන්න ගහන්න.."
"චටා.....ස්"
අම්මෝ...............................................................!

Wednesday, June 30, 2010

අපූරු කසින් සිස්ටර්

පැංචිට ඉන්නවා නොවැ එක එක ජාතියේ කදිම ලොකු අම්මල ටිකක්. ඇත්තම කිව්වොත් ලොකු අම්මලා ටාස්ක් ෆෝස් එකක්(LATF). පැංචිගේ මවු බඩ පිස්සි වීමේ මහඟු ප්‍රතිඵලය වුනේ පැංචි සහ පැංචිගේ එකම ලොකුම සහෝදර අයියා වසරේ බොහෝ කාලයක් කනේ ඇබ ගහගෙන ඉන්න වීමයි (හෆ්ෆෝ වෙලාවට. ඒ කවුරුත් බ්ලොග් බලන්න දන්නෙ නෑ). ඉතින් දැනමුත්තෝ විදිහට විශේෂ අවස්ථා වලට හදිසියකට එහෙම ඇඩ්වයිස් ගන්න ගියාම අදහස් කෝටියයි ප්‍රශ්න දෙකෝටියයි. ඔක්කොම පරස්පරයි. එතකොට තමයි දිසාව කෝක උනත් ඔලුව හැරුණ අත හොඳයි කියලා හිතෙන්නේ.

කතාව පැංචිගේ පවුලේ මේ අරුම පුදුම ‍LATF ගැන නොවෙයිනේ හැබෑට . මේ එක ලොකු අම්මා කෙනෙක්ට හිටියා දුවෙක්. පැංචිගේ ප්‍රාණ සම ගජ කසින් සිස්ටර් කෙනෙක්. පැංචිට වඩා වැඩිමහලු වුණාට අනේ පැංචිගෙම නොම්මරේ. පැංචි වාසිටි යන්න කොලොම්පුරේ බඩ ගාපු මුල්ම අවදියේ ඉතින් පැංචිගේ ගයිඩ් වගේම ගාඩ් වුණෙත් මේ කසින් සිස්ටර් තමයි.

"ඔන්න මෙයාව බලාගන්න වෙන්නේ දුවට තමයි" පැංචිගේ මවු කියලා කට ගන්න නෑ
" බය වෙන්න එපා ඒවා හරි පුංචි, නඟාව ලස්සනට බලාගන්නම්" කසින් සිස්ටරුත් වගක් වත් නැතුව කිව්වට මොකද ලොකු අම්මා කතාව ඇහිලද කොහෙද කුස්සියේ ඉඳලා ලතෝනි තිබ්බා
" ඒකම තමයි බය. මෙයාගේ වැඩත් සමයං වෙලාවකට"

ඒවා මේවා මොනාවුණත් වාසිටියේ වුණත් පැංචිට ඉද්ද ගැහුවා වගේ ඔලුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් වුනේ ‍ඒ ඇත්තිට පින් සිද්ද වෙන්න තමයි. නගර නිර්මාණයේ පටන් වංහුං ඔක්කොම අ යන්නේ ඉඳලා කියලා දීලා අහු මුළු හැම තැනකම වට වන්දනාවේ එක්කන් ගිය හින්දා පැංචිට හැම තැනැක්ම ගලේ කෙටුවා වගේ. ආය ඇන්දිලි බොරු.

මේ ඔක්කොමත් හරි ලොකු අම්මා කිව්වා වගේ කසින් සිස්ටර් හිටපු ගමන් අංගමොන්ගල් වෙන එකත් හරි!!!

දවසක් පැංචි දැක්කා ගෙදරින් පිටත්වුණ වෙලේ ඉඳලා සහෝදරී කට කනේ තියාගෙන යනවා. අහල පහලින් යන අයත් අමුතු විදිහට බලනවා. සමහරු අඳුරන්නෙත් නෑ. ඒත් එයාගේ හිනාව නවතින පාටකුත් නෑ. මාරම ප්‍රශ්නයක් වෙන්න කලින් පැංචි ඇහුවා මොකද කියලා. " කලබලේට කන්ණාඩි දෙක අමතක වුණා බං. අඳුරගන්න බෑ කවුරුත්"
ඒකත් ඇත්තටම ෆන් රවාගෙන යනවට වඩා.

තවත් දවසක් ලොකු අම්මා සතියකට විතර වට වන්දනා‍වෙ ගිය අවදියක සහෝදරී එලාම් එකෙන් ගහලා වගේ පරක්කු වෙලා ඇහැරුණා. ඒ වෙනකොටත් පැංචිත් 4 පාරක් විතර ඇහැරිලා පොතකට ඔරවගෙනයි හිටියේ. ලොකු තාත්තත් කුස්සියේ හැඳි වලං සංගීත හරබයක හිටියේ. ජිම්බා ඒ කියන්නේ ගෙදර බලු මහත්තයත් උගේ නැට්ට අල්ලගන්න හැල්මේ කැරකෙනවා. ටීවී එකත් පාන්දරම පත්තරේ දිග ඇරගෙන ගෙදර පුටු මේස වලට නිවුස් කියනවා. පැංචි තේ බොන අතර මදුරුවෝ පැංචිගේ ලේ බොනවා. හැමෝම බිසී වගේ. ගමේදි වගේ නෙමෙයි. මෙහෙ උදෑසන මෙලෝ රහක් නෑ. සහෝදරිත් එක හුස්මට එහෙට දුවනවා මෙහෙට දුවනවා සිහියක් පතක් නැතුව. යම යුද්දයක් දීලා පැංචි පාඩම් කරන එකයි තේ බොන එකයි මදුරුවො මරන එකයි එකට කරන්න ට්‍රයි කරද්දි සිසටර්ගේ කාමරෙන් ශබ්ද ගොඩයි.

චූ......ස් සැන්ට් සුවඳක් පැංචි ඉන්න පැත්තට සේන්දු වුණා.
ටොක්...ටොක්...ටොක් සපත්තු අඩි සද්දෙත් ඇහෙනවා.
දඩා.....ස් අල්මාරි දොරත් හරි.

ඇඳ පැළඳ ගත්ත සහෝදරී හැල්මෙ ආවේ පැංචි ඉන්න පැත්තට. පැංචි එතකොට හිටියේ හීනෙන් ‍වගේ බ්‍රිතාන්‍යයි ඉන්දියාවයි අතර ජාත්‍යන්තර සබඳතා ගොඩ නගමින්. හැල්මේ ආපු කෙල්ල මෙන්න බොලේ පැංචි ලඟ හතර ගාතෙන් වැටුණා. පැංවි පැනික් වුණා. ‍වැටුණවත්ද කෙල්ල අර අඩි උස සපත්තු නිසා කියලා බලද්දි ඇහෙනවා දනි පනි ගාලා මොනවද මතුරනවා. හෆොයි දෙවියනේ අන්තිමට පැංචිට ඇහුණේ මාතු පාදං නමා මහං කියනවා. අක්කේ....කියලා පැංචිට ලාවට කෑගැහුණා. හීනෙන් නැගිට්ටා වගේ කසින් අක්කා ගැස්සිලා උඩ බලද්දී ඩෝං ..! ඇණුණා අපූරැ ඔලු ගෙඩිය මේසේ කොනේ. "අපොයි නටපං....මං හිතුවේ අපේ අම්මයි කියලා.....හික් හික් හී" ඔලුවත් අතුල්ලන ගමන් සිසටර් දෙකට තුනට නැමි නැමී හිනා වෙන්න ගත්තා. ඊට පස්සෙ තාත්තට වඳින්න කුස්සියට දුවගෙන ගියා. ඒ පස්සෙන්ම පැංචිත් දුවන් ගියේ බැරිවෙලාවත් ජිම්බට පීතු පාදං නමා මහං කියයිදෝ කියන සැකෙන්.

Sunday, May 30, 2010

පැංචියි, උපන් දිනෙයි, ලෝන් එකයි, 2012 ලෝක විනාසෙයි

අවුරුදුත් ආවා ගියා. වෙසක් පෝයත් ඉවරයි. ඊළඟට පොසොන්. ඒකත් එයි යයි. පැංචිගේ උපන් දාතමත් කමින් සූන්. හයියෝ ඒකනම් අමතක කරන තරමට ‍හොඳයි වගේ. එක පැත්තකින් වයසට යන එක ගැන දුකයි(ඉස්සර සෙල්ලම් දැන් බැරියෝ බැරියෝ. වයසට යනවා පැංචි චෙරියෝ චෙරියෝ). අනිත් පැත්තෙන් සාක්කුව හිස් වෙන එක ගැන දුකයි. ඔන්න කට්ටිය එකතු වෙලා සර්ප්රයිස් පාටියක් (surprise party) වත් දෙනවනම්.....අපේ බ්ලොගී නංගි එහෙම බලාගෙන ඉන්නවනම් පැංචි දුන්න අයිඩියා එක ඕං.

ඇත්තටම දැන් තියන ක්‍රමය වෙනස් වෙන්න ඕන නැද්ද?ඔය පුදුම කිරීමේ කලාව කාලෙට ඔබිනවා වගේ. බලන්න දනට පිනට කැමති ඈයන්ට පිං රැස් කරන ගමන්ම එන්ටටේන් කරන්නත් හැකියි. එමෙන්ම සාම්ප්‍රදායික බවෙන් තොරයි. කාලීනයි. හැබැයි එකම එක හිඩැසක් තියනවා. පැංචිගේ පාටියෙන් පස්සේ ඒ ක්‍රමය නැවත වෙනස් විය යුතු බැවින් දීර්ග කාලීන නෑ.

ගල් බෝර නොදැම්මට මොකද නිකන් තට්ටුවක් දැම්මත් ඇති ඉලක්කම් පහේ පඩිය කුඩු වෙලා යන්න. මොන දේ කරන්නෙත් 2012 වෙනකන්නේ. එහෙම කිව්වට කට්ටිය "ඍණවාදී" වෙන්න එපා පැංචි වගේ හැමතිස්සෙම "ධනවාදී" වෙන්න. මොකක්වත් වැරදුණාද මන්දා?


2012 කිව්වමයි මතක් වුණේ. දැන් ඔය එනවා...යි කියන ලෝක වින්නැහිය ඇත්තටම ආවොත් පැංචි ගොඩම තමයි. මොකද පැංචි පස් මහ බැලුම් බලලා ගැහුවා ලෝන්ග් ලෝන් එකක්. පොතේ හැටියට ගෙවලා ගෙවලා කම්බස් වෙන්න තියෙන්නේ 2013. පැංචි බලපු පස් මහ බැලුම් වලින් පළවෙනි එක නම් හොඳයි වගේ. හරි...තර්කයක් නෑ වෙන එකක් වුණාවේ ඔක්කොම දහං ගැට හුස්ම පොද රැක ගන්නනේ. 2012 ආවත් නාවත් සර්කිට් එකට වතුර බින්දක් වැටුණත් ඇති නොවැ ෆියුස් යන්න. "හුටස්" ගියා...

Thursday, April 1, 2010

පොලිට්‍රික්ස්

හැමෝටම සක්සස්පුල් බියුටිපුල් දවසක්ම වේවා. සුපුරුදු පරිදි අදත් අපි ඔබේ ආලින්දයට ගොඩ වැදිලා ඉන්නේ කෝට් 6ක ඇඳුම් මල්ලක් සමාවෙන්න...කෝටි 6ක ජය මල්ලකුත් කරේ තියාගෙනයි....ඈ....ක් මොකක් හරි අස්පට් එකක් වගේ දැනෙනවා. ඉන්න බලන්න ආයෙත් රිවයින් කොරලා. හැමෝටම සක්සස්පුල් බියුටිපුල් දවසක්ම වේවා. ඔන්න ඉතිං පැංචි අදත් ආවා මතක ඇතුව හිනාකටකුත් අරගෙනම( ට්‍රැක් එකට වැටුණා නේද ගානට?) ඉතිං ඔයාලට කොහොමද කියන්නකෝ? පැංචි නම් පුල් හැපී එකේ ඉන්නේ. එකමත් එක කාලෙක පැංචිට විච්ච අන්දමන්දන් කතන්දර දැං යට ගියාවේ සුළමුළ වෙලා. ඇයි ඉතින් ඊට වඩා හොල්මන් ඉස්ටෝරිස් ටිකක් ගියානේ මේ පහු ගිය කාලෙම. මෙන්න ඔයාගේ නහය කියලා කන පෙන්නලා, කන අල්ලලා බලනකොට ඔලුවට ටොකුත් ඇනලා යන මාර මැජික්නෙ ඒ කාලේ තිබ්බෙ. නහය තාමත් රූං රූං ගානවා ආ වැරදුණා කන තාමත් රූං රූං ගානවා ඇහුණ මිහිරි වදන් වලට. ඒ සුරංගනා කතා නම් හොඳටම ඇති තව කල්පෙකට ගොරව ගොරව නිදා ගන්න.

ඔයාලට කියන්න පහුගිය කාලේ...පුදුමෙ කියන්නෙ පය ගැහෙන ගැහෙන ගල හිනා වෙන්න ගත්තනේ. දැනුත් ඔය ඉඳල හිටලා තැනින් තැන හදි ගැහෙනවා හිනා මූණක් දෙකක් හැබැයි පණුවො කාපු දත් බොල්ලෑවක් එක්ක. දුකේ....බෑ....ඕං පැංචිගේ මේ ඇස් දෙක දැක්ක නොවැ බිමට පාත් වෙලා තිබ්බ තාප්ප කෑල්ලක අලවලා තිබිච්ච හිනා කටකට බලු මහත්තයෙක් ප්‍රයිවට් වැඩක් කොරනවා. හික් හික්! ඕවා මේ පබිලිස් එකේ කියන්න හොඳ දේවල් නෙමෙයි. ඒවා එක අතකට මොනාද ඔය තාප්ප වල ඉන්න ඇත්තො මූණෙ ගාගන්න දැලි, කුණු,මඩ බලද්දි. පව් මෙයාලා හරියට සැලුන් ගිහින් වගේ. ඇස් වටේ පිපිඤ්ඤා පෙති දෙකක් තියල ගත්ත නම් අලුතින් අරින සැලුන් එකක බෝඩ් ලෑල්ලකට පංකාදු පහයි.

නෑ පැංචි කියන්නෙ ඉතින් රට රාජ්ජවල කරක් ගහලා, කප් පිට කප් ගහලා ඇවිත් තාප්පවල ඇලවිලා බුලත් කෙල නාගෙන ඉන්නකොට අනේ අප්පේ බඩ පපුව හෝ...ස් ගාලා දාලා යනවා. මොනවා වුණත් අපි වෙනුවෙන් කතා කරන්න ඉන්නෙ ඔච්චරනේ. බලන්න ඉතින් කෝටි ගානක් වියදං කොරගෙන තාප්ප වහලා ආය කෝටි ගානක් වියදම් කොරගෙන තාප්ප සුද්ද කරන්න තරම් පරමාදර්ශී ජනතා පුත්තු ඉන්නේ මොන රටේද? ඒකත් තමන්ගේ ධන ප්‍රමාණයෙන්? හා කියමු බලන්න...? ඕවා මොනාද නැට්ට පිටින් අලිත් ස්වර්ගස්ත වෙන මේ කාලේ. පාන් ගෙඩියක් රුපියලකින් වැඩි කොරලා, ගෑසුත් රටේ නැති ගෑස් දානකොට දන්න තරම් පද කස්තිරම් දාලා ලාභය ගැන කතා කරන්නේ මිලියන බිලියන ගානින්. අනේ ඉතින් කන්න තියා විකන්නවත් බැරි අඩුම තරමේ පුච්චලා අලු නලලේ ගාලත් වැඩක් නැති පෝස්ටර් කඳුයි, කටවුට් තොගයි නම් කාටවත් නොතේරෙන ඉලක්කම් වලින් වත් කියන්න බැරි තරම් ලාභයක් කරපු හැඩයි.

පැංචිට නම් මේ සෙල්ලම සූදුවක්. ඔය සූදුවේ හැමදාම ජැක් පොට් එක වදින පිරිසක් ඉන්නවා. ජැක් පොට් කෙසේවෙතත් අනිත් කට්ටියගේ ඉතින් හැමදාමත් ඇස් පොට්ට වෙන එක තමා වෙන්නෙ.

නැද්ද හොඳයි?